ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් රුපියල් කෝටි 600කට අධික මුදලක් ගනුදෙනුකරුවන්ගෙන් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි.
ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමානව තවත් වෙබ් අඩවි සකස් කර පුද්ගලයන් රවටමින් මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.
සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මෙම මුදල වංචා කර ඇත්දැයි ද විමර්ශකයින් අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනම් කර අධිකරණයට කරුණු දක්වන ලෙසත් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.