ඉන්දුනීසියාවේ සිය ගණනාවක කාන්තාවන් කොසු ඉදල් රැගෙන ඊයේ එරට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පාගමනක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ රජයේ මුදල් අවභාවිතය සහ පොලීසියේ අපයෝජනවලට එරෙහිවයි.
මහජනතාවට අඩු වැටුප් ලැබෙද්දී දේශපාලනඥයන්ගේ සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට එරෙහිව ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පසුගියදා ආරම්භ වූ මහජන විරෝධතා තවත් නගර රැසක මේ වනවිට ව්‍යාප්ත වී ඇති බවත්, මැතිඇමැතිවරුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවට එරෙහිව ජනතා විරෝධය උත්සන්න වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
රජයේ මුදල් අවභාවිතයට එරෙහිව ආරම්භ වූ විරෝධතා ප්‍රඩණ්ඩත්වය දක්වා පැතිරී ගොස් ඇත්තේ එම විරෝධතා අතරතුර පොලිස් කැරලි මර්දන රථයකට හසුවී තරුණයකු මියයෑම බවයි වාර්තා වන්නේ.
ටැක්සි රථ රියැදුරකු වන අදාළ තරුණයා මියයෑමෙන් පසු කුපිත වූ ජනතාව පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් බව ද සඳහන්.
එරට ජනාධිපති ප්‍රබෝවා සුබියැන්ටෝ චීනයේ යුද විජයග්රහණ සැමරුමට සහභාගිවීමට චීනයේ සංචාරය කිරීමෙන් ජනතා විරෝධය ඉහළ ගොස් ඇති අතර, එම සංචාරය අවලංගු නොකිරීම ජනතාවගේ දැඩි විවේචනයට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඊයේ ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පාගමනට එක්වූ කාන්තාවන් පැවසූයේ රජයේ අපිරිසුදුකම, මිලිටරිවාදය සහ පොලිස් මර්දන අතුගා දැමීමට පැමිණි බවයි.
ඇතැම් කාන්තාවන් පොලීසිය ප්‍රතිසංස්කරණය කරන ලෙස සඳහන් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශන කර ඇති අතර, පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.