වර්තමානය වන විට ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වන විට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් පවතින බවයි ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කළේ.
ඔක්තෝම්බර් 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා මෙම අදහස් පළ කළා.
ආඝාතය යනුවෙන් හඳුන්වන්නේ අංශභාගය රෝගී තත්ත්වයටයි.
එහි පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නු කළ හැකි බවටයි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
1) කථාකිරීමේ අපහසුව
අංශභාග තත්වය වැළඳී ගෙන එන විට රෝගියාගේ මනස තුළ ව්‍යාකූල තත්වයක් හටගන්නවා. කතා කිරීමට අපහසු වෙනවා සේම, තමන් පවසන දෙයෙහි අර්ථය තමාටම වටහාගත නොහැකි තත්ත්වයක් උදා වෙනවා.
2) අන් අය පවසන දේ අවබෝධ කරගැනීමට අපහසු වීම
මෙම තත්ත්වයේදී තවත් කෙනෙකු පවසන දේහි අර්ථය නිවැරදිව වටහා ගැනීමේ අපහසුවක් රෝගියා තුළ හට ගන්නවා.
3) හිස කරකැවිල්ල හට ගැනීම
හිසේ කරකැවිල්ලක් ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක ඇතිවිය හැකි නමුත් කතා කිරිමේ අපහසුවත් කරකැවිල්ලත් එකවර එනවා නම් එය ආඝාතය විය හැකියි. ඇවිදීමේදී සිරුරේ සමබරතාවය ගිලිහී යාම සමග එන කරකැවිල්ලත් ආඝාතයේ රෝග ලක්ෂණයකි.
4) සිරුරේ අඩක් අඩපණ වීම
මෙහිදී මුහුණේ පැත්තක්, එක අතක්, එක කකුලක් හෝ මේ සියලුම අංග අඩපණ වී යා හැකියි. සිරුරේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්නත් පුළුවන්. ආඝාත තත්ත්වය හට ගන්නා මුල් අවධියේදී රෝගියාගේ සිනහවකින් එය හඳුනාගත හැකියි. සිනහා වීමේදී කටේ එක පැත්තක් පමණක් ක්‍රියාත්මක වෙනවා නම් එහි අර්ථය භයානක විය හැකියි. ආඝාතය හඳුනාගත හැකි පහසු සලකුණක් තමයි ඒ.
ආඝාතය හට ගැනීමේදී සිරුරේ එක් පැත්තක් පමණක් අක්‍රීය වීම විශේෂ ලක්ෂණයක්. සිරුරේ දෙපසටම එකවර හානි සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොළයේ වම් පැත්ත විසින් සිරුරේ දකුණු පැත්ත පාලනය කරන අතර, මොලයේ දකුණු පැත්ත විසින් සිරුරේ වම් පැත්ත පාලනය කරනු ලබනවා. මොලයේ එක් පැත්තක රුධිර නාලයක් අවහිර වීම නිසා තමයි ආඝාතය හට ගන්නේ. එකවර මොළයේ දෙපැත්තේම නහර අවහිර වන්නේ නැහැ. සිරුරේ එක් පැත්තක් පමණක් අඩපණ වීමට බලපාන හේතුව එයයි.
5) සිරුරේ සමබරතාව ගිලිහී යාම
ආඝාත තත්ත්වයේදී මොලයේ රුධිර නාල වල කොලොස්ටරෝල් සහ කැල්සියම් බැඳීම නිසා සිරුරේ සමබරතාවය ගිලිහී යාම සහ සිරුරට අධික විඩාවක් දැනීම සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇවිදීමේදී රෝගියා බිම ඇද වැටෙන්න පුළුවන්.
6) හිසේ වේදනාව
හිසේ කැක්කුමට වේදනා නාශක භාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. හැබැයි අස්වාභාවික ලෙස හිසේ වේදනාවක් හටගන්නේ නම් එය ආඝාතයේ රෝග ලක්ෂණයක් විය හැකියි. මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයකු හමු වෙනවා මිස වේදනා නාශක භාවිතා කිරීම නුසුදුසු වේ.
7) පෙනීම අඩු වීම
ආඝාතය හටගැනීමත් සමග පෙනීමේ හැකියාව අඩුවී යනවා. දෑසේ පෙනීම හදිසියේම අඩු වී යන බවක් හැඟෙනවා නම් එය ආඝාතයේ රෝග ලක්ෂණයක් විය හැකියි.