ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මකයි.
ඊයේ (23) ශ්‍රී ලංකා පොලිස් ප්‍රධානියා අනාවරණ කළේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට නිකුත් කරන ලද ඇමරිකානු ආරක්ෂක අනතුරු ඇඟවීම පිළිබඳව බලධාරීන් දැනුවත්ව සිටි බවත්, ඒ පිළිබඳව බුද්ධි අංශ විසින් ඔවුන්ව දැනුවත් කළ බවයි.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මතුවිය හැකි තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.
මෙම බුද්ධි තොරතුරු පසුගිය සති තුන තුළ ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ආරක්ෂක කවුන්සිලය තුළ පුළුල් සාකච්ඡා කිරීමට හේතු වූ බවයි ඔහු පැවසුවේ.
මෙම සාකච්ඡා මත පදනම්ව, විදේශීය පුරවැසියන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ ස්ථාන සහ මෙම පුද්ගලයින් විසින් ආගමික උත්සව සඳහා භාවිතා කරන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණා.
වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ මෙම වැඩසටහනට පොලිස් ස්ථාන, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ වූ බවයි.
මේ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්, බුද්ධි අංශ ප්‍රධානීන්, ආරක්ෂක ලේකම්, ජනාධිපති ලේකම් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් ඊයේ පෙරවරුවේ ජාතික ආරක්ෂක කවුන්සිලයට රැස් වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් තත්ත්වය සමාලෝචනය කර විදේශ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි වැඩිදුර උපදෙස් ලබා දී ඇත්තේ.