Latest News

අසත්‍ය සමාජ මාධ්‍ය ප්‍රකාශ, ශ්‍රී ලංකා යුද හමුදාව හෙළා දකියි (VIDEO)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වගකීම් විරහිත සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් කිහිප දෙනෙකු විසින් මෑතකදී නිකුත් කරන ලද වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්ති නාමයට කැළැල් කිරීම, මහජන විශ්වාසය පළුදු කිරීම සහ හමුදාව කෙරෙහි වෛරයක් ඇති කිරීම අරමුණු කරගත් සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා.

නිසි ලෙස තහවුරු කිරීමකින් තොරව නිෂ්පාදනය කරන ලද මෙම වීඩියෝ දර්ශන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා පමණක් බෙදා ගන්නා ඒවා බවයි එම එම නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ ඇතැම් කඳවුරුවලින් හමුදා භට පිරිස් වෙනත් ස්ථානයකට ගෙන ඒම හදිසි තීරණයක් බව වීඩියෝ පට සාවද්‍ය ලෙස ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත්, මෙම ස්ථාන මාරු කිරීම් එහි ප්‍රමාණය වෙනස් කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග යටතේ දීර්ඝ කාලීන උපාය මාර්ගික සැලැස්මක කොටසක් බව යුද හමුදාව පැහැදිලි කළා.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ, ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ, ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම්වලට අනුකූලව සියලුම යුද හමුදා ක්‍රියාකාරකම් සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව අවධාරණය කරන්නේ.

වගකීම් විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය සදාචාරයට පටහැනිව ක්‍රියා කරන මෙවැනි පදනම් විරහිත ක්‍රියාවන් හමුදාව සහ ජනතාව අතර දීර්ඝ කාලීන සුහද සබඳතාව පළුදු කිරීමේ අසාර්ථක උත්සාහයක් බව ද යුද හමුදාව අවධාරණය කරනවා.

තවද, මෙම නොමඟ යවන ආඛ්‍යාන පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට ඉඩ හැරියහොත් ජාතික ආරක්ෂාවට අනාගත තර්ජනයක් විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

මෙවැනි සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, හමුදාව කෙරෙහි ඇති අචල විශ්වාසය රැකගන්නා ලෙසත් යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ජාතික ආරක්ෂාව සහ රජයට සහ රටට පක්ෂපාතීත්වය සඳහා වන කැපවීම තුළ හමුදාව නොසැලී සිටින බවයි අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව අවධාරණය කරන්නේ.

World News