රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8ට අවසන් වී ඇත.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවැත්වෙන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණයක් ගනු ඇති බවයි.
ඔහු තවදුරටත් චෝදනා කළේ, පශ්චාත් සිමාවාසික ස්ථානමාරු ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දේශපාලන වාසි සඳහා අවභාවිත කරන බවයි. ඒ හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල රෝහල් සදහා නියමිත ස්ථානමාරු ක්‍රමය විකෘති වී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් රට පුරා දුෂ්කර රෝහල් 150කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මාස දෙක තුළ වැසී යාමේ අවදානමක් ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, මේ ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවෙන් තවමත් ප්‍රමාණවත් උත්සාහයක් නොමැති බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ වැරදි තොරතුරු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවත් ඔහු චෝදනා කළේය.