ජාතික බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින් “සුරකිමු ලංකා” නාමයෙන් නව ජාතික වැඩසටහන අද (29) සිට නිල වශයෙන් ආරම්භ කර ඇත.
බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ජනතාව දිරිගැන්වීම සහ බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් ගොඩනැගීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිවිය හැකි බලපෑම් සහ ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නීනෝ” කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහනේ කොටසක් වන අතර “සුරකිමු ලංකා – එකතු වෙමු – එළිය දෙමු” යන තේමාවෙන් ඉදිරි මාස පහක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විශේෂයෙන් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වන උපරිම විදුලි පරිභෝජන කාලය තුළ විදුලිය භාවිතය සීමා කිරීම හෝ වැඩි විදුලි පරිභෝජනයක් අවශ්‍ය කාර්යයන් දිවා කාලයේ සිදු කිරීම සඳහා ජනතාව දිරිමත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම වැඩසටහන යටතේ විදුලි පරිභෝජනයට තහංචි පැනවීමක් සිදු නොවන අතර, ජලය සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.