Latest News

සිරියානු ජනපතිට, ට්‍රම්ප්ගෙන් විශේෂ ආරාධනයක්

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියානු ජනාධිපති ලෙස කටයුතු කරන අහමද් අල් ෂාරා ධවල මන්දිරයට පැමිණීමට නියමිතය.

ඒ, අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමකට අනුව යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

සිරියානු ජනාධිපතිවරයකු මේ අයුරින් ඇමෙරිකාවේ ජනාධිපති නිවස හෙවත් ධවල මන්දිරයට පැමිණෙන පළමු අවස්ථාව වනු ඇත්තේ මෙයයි.

සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්, එරට ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව විරෝධය පළ කරද්දී, විපක්ෂයට සහාය දක්වමින්, සිරියානු රජයේ හමුදා සමඟ සන්නද්ධ අරගලයක නියැලුණු අල් කයිඩා ත්‍රස්ත නායකයා වූයේ අහමද් අල් ෂාරා ය.

අසාද් සිරියාවෙන් බලා යද්දී, විපක්ෂ දේශපාලන පක්ෂ බලය අල්ලා ගත් අතර, ඔවුන්ට නායකත්වය දෙමින්, අල් ෂාරා අන්තර්වාර ජනාධිපති ලෙස එම ධුරය බාර ගත්තේය.

අල් ෂාරා පසුගිය දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ද ආමන්ත්‍රණය කළේය.

එම අවස්ථාවේදීත්, ඊට පෙර සෞදි අරාබියේදීත් අල් ෂාරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විණි.

එහි ප්‍රතිඵලයක් ලෙස බෂාර් අල් අසාද් පාලන සමයේ දී ඇමෙරිකාව සිරියාවට පනවා තිබුණු සම්බාධක පවා ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය. ඒ, ‘අල් ෂාරා හොඳ හාදයකු’ යැයි කියමිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අල් ෂාරා, ලබන නොවැම්බර් 10 වැනිදා ධවල මන්දිරයට පැමිණ, ට්‍රම්ප් හමුවී සාකච්ඡා පවත්වනු ඇති බවය.

සිරියාවත් අමෙරිකාවත් අතරේ නව සබඳතා ශක්මත් කර ගැනීමටත්, සිරියාවත් ඊශ්‍රායලයත් අතරේ පවතින ගැටුම් අවසන් කිරීමටත් ඒ අනුව හැකිවනු ඇතැයි පැවැසෙයි.

World News