Latest News

ලිතුවේනියාවට අභිරහස් ආක්‍රමණයක්

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලිතුවේනියාව සිය විශාලතම ගුවන්තොටුපළවල් දෙකක් සහ බෙලරුස් සමඟ ඇති දේශසීමා මාර්ග වසා දමා තිබේ.

ඒ අභිරහස් හීලියම් බැලූනයක් සිය දේශසීමාවට ඇතුළු වීමෙන් පසුවයි.

ඊයේ සිදු වූ මෙම සිදුවීම බෝල්ටික් රාජ්‍යයේ මේ මාසයේ වාර්තා වූ තෙවැනි සිදුවීමයි.

සිකුරාදා දින, ආරක්ෂක හේතූන් මත ලිතුවේනියාවේ විල්නියස් සහ කවුනාස් ගුවන්තොටුපළවල් සෙනසුරාදා අලුයම 2 වන තෙක් වසා දැමුවා. බෙලරුස් සමඟ ඇති දේශසීමා මාර්ග ඉරිදා දක්වා වසා තබන බව බලධාරීන් සඳහන් කළේය.

ලිතුවේනියාවේ ජාතික අර්බුද කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි, සිකුරාදා බැලූන දස ගණනක් රේඩාර් මගින් හඳුනාගෙන ඇති බවයි.

මීට පෙර, බැලූන 25 ක් ලිතුවේනියානු ගුවන් කලාපයට ඇතුළු වූ විට, විල්නියස් ගුවන්තොටුපළ පසුගිය අඟහරුවාදා සහ ඔක්තෝබර් 5 වන දින ද වසා දැමුවේය.

නිල දත්තවලට අනුව, පසුගිය වසරේ බැලූන 966 ක් ලිතුවේනියාවට ඇතුළු වී තිබේ

මේ වසරේ මේ වන විට 500 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම බෝල්ටික් රාජ්‍යයේ දේශසීමා ආරක්ෂකයින්ට පසුගිය වසරේ සිටම මෙවැනි බැලූනවලට වෙඩි තැබීමේ අයිතිය ලබා දී තිබුණේය.

යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වන ලිතුවේනියාව පවසන්නේ, දුම්කොළ නිෂ්පාදන වඩා මිල අධික වන යුරෝපා සංගමයට බෙලරුස් සිගරට් යැවීමට ජාවාරම්කරුවන් මෙම බැලූන භාවිතා කරන බවයි.

විල්නියස් බලධාරීන් මෙම නීතිවිරෝධී ක්‍රියාව නතර නොකිරීම සම්බන්ධයෙන් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝට චෝදනා කරන අතර ලූකෂෙන්කෝ යනු රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම මිත්‍රයෙක්.

ලිතුවේනියාවේ අගමැති ඉන්ගා රුගිනීන් ප්‍රකාශ කළේ, ජාතික ආරක්ෂක කොමිසම ලබන සතියේදී රැස්වී ජාවාරම්කරුවන්ට සහ ලූකෂෙන්කෝගේ පාලන තන්ත්‍රයට වේදනාකාරී වන කෙටි කාලීන පියවර යෝජනා කරන බවයි.

රුසියාවෙන් සිදුවන ඩ්‍රෝන යානා සහ වෙනත් ගුවන් ආක්‍රමණ හේතුවෙන් යුරෝපීය ජාතීන්ගේ ගුවන් සේවා මෑත සතිවලදී අවුල් සහගත වී තිබේ.

කෝපන්හේගන්, මියුනිච් සහ බෝල්ටික් කලාපයේ ගුවන්තොටුපළ වසා දැමීමට ද එය හේතු වී තිබේ.

අසල්වැසි පෝලන්තය ද මේ වසරේ සමාන බැලූන සිදුවීම් 100 කට වඩා වාර්තා කර තිබේ.

මේ අතරතුර, බ්‍රහස්පතින්දා දින රුසියානු ගුවන් යානා දෙකක් (Sukhoi SU-30 ප්‍රහාරක යානයක් සහ IL-78 ටැංකියක්) රුසියානු කැලිනින්ග්‍රෑඩ් ප්‍රදේශයේ සිට පියාසර කරමින් ලිතුවේනියානු ගුවන් කලාපයට ඇතුළු වූ බව ලිතුවේනියාව ප්‍රකාශ කළේය.

මෙම රුසියානු යානා ලිතුවේනියානු ගුවන් කලාපයට මීටර් 700 ක් ඇතුළු වී තත්පර 18 කින් පිටව ගිය බව වාර්තා වන අතර ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන්, නේටෝ (Nato) සංවිධානය එහි ගුවන් මුර සංචාර මෙහෙයුමෙන් යුරෝෆයිටර් ටයිෆූන් යානා දෙකක් යවා තිබුණේය.

විල්නියස් හි විදේශ අමාත්‍යාංශය රුසියානු තානාපති කාර්යාලයේ වැඩබලන නිලධාරියා කැඳවා දැඩි විරෝධයක් පළ කළේය.

කෙසේ වෙතත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එවැනි ආක්‍රමණයක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ලිතුවේනියාව යුරෝපා සංගමයේ සහ නේටෝවේ සාමාජිකයෙක්. ජූලි මාසයේදී බෙලරුස් සිට රුසියානු ඩ්‍රෝන යානා කිහිපයකින් එකක් පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගොස් ඇතැයි සැක කෙරේ.

එම යානා එහි දේශසීමාවට ඇතුළු වීමෙන් පසුව ගුවන් කලාප උල්ලංඝනය කිරීම සංවේදී ගැටලුවක් බවට පත්ව තිබෙන බව සඳහන්.

World News