ලින්ඩල් බුබ්කේ (Lyndal Bubke) නැමති කාන්තාව Queensland Fertility Groupහි ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගේ සහාය ඇතිව පිළිසිඳ ගත් IVF ළදරුවෙකු වන අතර ඇයට එක් සහෝදරයෙක් පමණක් සිටින බව සිතමින් හැදිවැඩී තිබුණා.
එහෙත් අන්තර්ජාලය හරහා සිදුකළ මුතුන් මිත්තන්ගේ පරීක්ෂණයකින් ඇය හෙළි කරගෙන ඇත්තේ ඇයට සහෝදර සහෝදරියන් 77 දෙනෙකු සිටින බවයි.
එම සංඛ්‍යාව 250 – 350 අතර විය හැකි බව ද ඇය වැඩිදුරටත් පවසනවා.
පරිත්‍යාගශීලියා 325 වතාවක් ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති අතර එම ශුක්‍රාණු වසර ගණනාවක් තිස්සේ භාවිතා කරමින් සිටි ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
මේ අතර තවත් පවුල් කිහිපයකින් ද මෙවැනි සිද්ධීන් තහවුරු කරගෙන තිබෙනවා.
මුදල් සඳහා පරිත්‍යාග කිරීම් සිදුකළ පුරුෂයෙකු විවිධ ස්ථානවලදී ව්‍යාජ නම් භාවිතා කරමින් දරුවන් 700 කට උපත ලබාදී බව ද තවත් කාන්තාවකගේ පරීක්ෂණවලින් හෙළිවුණා.
මෙම තත්ත්වය හේතුවෙන් සමාජයේ දරුවන්ගේ අයිතිවාසිකම් සහ පවුල්වල විශ්වාසය බිඳවැටී ඇති අතර, ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ට අදාළ ජාතික නීති සහ නියාමන ආයතනයක් තිබිය යුතු බවයි විවිධ පාර්ශව පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියානු දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු IVF වැනි සහායක ප්‍රජනන තාක්ෂණය භාවිතයෙන් පිළිසිඳ ගනු ලබනවා.
ප්‍රාන්ත සහ ප්‍රදේශ පදනම් කරගත් IVF මාර්ගෝපදේශ පවතින නමුත් ජාතික නීති හෝ සශ්‍රීකත්ව සායන සඳහා ස්වාධීන රාජ්‍ය ආයතනයක් තවමත් ස්ථාපිත කර නැහැ.
පරිත්‍යාගශීලියෙකු තම අනන්‍යතාවය සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි වාර්තාවක් නීත්‍යානුකූලව ලබාදිය යුතු බවට ජාතික නීති සහ පරිත්‍යාගශීලියෙකුගේ ශුක්‍රාණු කොපමණ වාරයක් භාවිතා කළ හැකිද යන්න සඳහා සීමාවන් ද මේ වනතෙක් පනවා නොමැති බවයි වාර්තා වන්නේ.