“ජපන් බාබා වැන්ගා” යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට චිත්‍ර ශිල්පිනී රියෝ තත්සුකි, සිය ‘මා දුටු අනාගතය’ (The Future I Saw) නමැති චිත්‍රකතා ග්‍රන්ථය මඟින් ඊයේ (ජූලි 5) දින දැවැන්ත භූමිකම්පාවක් සහ සුනාමියක් ඇතිවිය හැකි බවට පළ කර තිබූ අනාවැකියක් හේතුවෙන් මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් සහ කනස්සල්ලක් නිර්මාණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට ජපානය ජුලි 05 වනදා පසුකර 06 වනදාට පිවිස ඇති මුත් කිසිදු අනතුරක් වාර්තා වී නැහැ.
මෙම ග්‍රන්ථය ඇගේ සිහින පදනම් කරගත් ප්‍රබන්ධයක් වුවද, 2011 වසරේ ජපානයට බලපෑ තොහොකු භූමිකම්පාව සහ සුනාමිය පිළිබඳව නිවැරදිව අනාවැකි පළ කර තිබීම හේතුවෙන් ඇය ප්‍රසිද්ධියට පත්වූවා.
ඩයනා කුමරියගේ මරණය සහ කොවිඩ්-19 වසංගතය වැනි තවත් ගෝලීය සිදුවීම් රැසක් පිළිබඳවද ඇය සාර්ථකව අනාවැකි පළ කර ඇති බවට ඇගේ රසිකයෝ විශ්වාස කරනවා.
එම ග්‍රන්ථයට අනුව, ‘සැබෑ ව්‍යසනය පැමිණෙන්නේ 2025 වසරේදී’ බව සඳහන් වන අතර, ජපානය සහ පිලිපීනය අතර මුහුදු පතුල දෙබෑ වීමෙන් 2011 ව්‍යසනයටත් වඩා දරුණු, දැවැන්ත සුනාමි රළ ඇතිවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
මෙම අනාවැකිය හේතුවෙන් ජපානයේ පමණක් නොව, හොංකොං සහ තායිවානය වැනි රටවල සංචාරකයින් පවා සිය ජපාන සංචාර අවලංගු කිරීමට පෙළඹී තිබුණා.
කෙසේ වෙතත්, මෙම අනාවැකියට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ඇතුළු විශේෂඥයින් තරයේ ප්‍රකාශ කරනවා.
නිශ්චිත දිනයක්, වේලාවක් සහ ස්ථානයක් සඳහන් කරමින් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීම විද්‍යාත්මකව කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම අනාවැකිය වටා ඇතිවී තිබෙන කතාබහ මධ්‍යයේ, රියෝ තත්සුකි විසින්ම තමන් අනාගතවක්තෘවරියක නොවන බවත්, අනියත බියක් ඇති කර නොගෙන විද්‍යාඥයින්ගේ මතයන් කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ නමුත්, මෙම අනාවැකිය ප්‍රබන්ධයක් වුවද, ජපානය භූගෝලීය වශයෙන් ‘ගිනි වළල්ල’ (Ring of Fire) නමින් හැඳින්වෙන අතිශය ක්‍රියාකාරී කලාපයේ පිහිටා ඇති බැවින්, මහා භූමිකම්පාවක අවදානම පිළිබඳව විද්‍යාඥයින් දිගින් දිගටම අනතුරු අඟවනවා.