පාකිස්තානය තුළ උපායමාර්ගික මිලිටරි ප්‍රවේශයක් සඳහා අවස්ථාව ලබා දෙන්නේ නම් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් පාකිස්තානයට සියලු ආධාර ලබාදිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ඉන්දියාවේ Daily Guardian පුවත් සේවය වාර්තා කරනවා.
පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර්ගේ අමෙරිකානු සංචාරය අතරතුර ධවල මන්දිරයේදී භෝජන සංග්‍රහයකට සත්කාරකත්වය ලබාදෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවයි Daily Guardian පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
පාකිස්තාන භූමියේ අමෙරිකානු හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදීම සඳහා අතිනවීන ප්‍රහාරක ගුවන්යානා, මිසයිල පද්ධති සහ ආර්ථික ආධාර සැපයීමට අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් යෝජනා කර තිබෙන බවත් එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
පාකිස්තානය තුළ හමුදා කඳවුරක් ස්ථාපිත කිරිමේ අමෙරිකානු යෝජනාවට චීනයේ දැඩි විරෝධතාව පළවී ඇතැයිද, අමෙරිකාවට එවැනි අවස්ථාවක් ලබා දෙන්නේ නම් පාකිස්තානය අතර ඇති සියලු සම්බන්ධතා අවසන් කරන බවට චීනය අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
පාකිස්තානය එවැනි පියවරක් ගැනීම චීනයේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, චීනයේ ආර්ථික හා උපායමාර්ගික අවශ්‍යතාවලට සෘජු බලපෑමක් එල්ල වනු ඇති බවත් චීනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් එවැනි යෝජනාවක් පාකිස්තානයට ඉදිරිපත් වී නැති බවත්, එය ඉන්දීය මාධ්‍ය විසින් ව්‍යාප්ත කරනු ලැබූ සාවද්‍ය පුවතක් බවත් පාකිස්තානයේ සමා ටීවී පුවත් සේවය ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන්.