Latest News

ලොවම කතා වෙන බුර්කිනා ෆාසෝ හමුදා පාලකයා

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බුර්කිනා ෆාසෝ ඉතිහාසය පුරාම ජුන්ටා රජයන් බිහිවීමේ කුප්‍රකට ඉතිහාසයකට හිමිකම් කියන බටහිර අප්‍රිකානු රාජ්‍යයකි.

වයඹ දෙසින් මාලි රාජ්‍යයත්, ඊසාන දෙසින් නයිජර් රාජ්‍යයටත්, ගිනිකොන දෙසින් බෙනින් රාජ්‍යයටත්, දකුණින් ටෝගෝ සහ ඝානාව හා නිරිතදිගින් අයිවරි කොස්ට් රාජ්‍යයටත් මායිම් වූ දරිද්‍රතාවයේ අන්තයටම ගිය ජනතාවක් ජීවත්වන රටකි.

සියවස් ගණනාවක් පුරා ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති බුර්කිනා ෆාසෝ නිදහස ලැබුවේ හැටේ දශකයේ මුල් භාගයේදීයී.

එහෙත් එතැන් සිට ගත වූ දශක ගණනාවක කාලය පුරා ප්‍රංශයේ විවිධ බලපෑම්වලින් අඩුවක් වුණේ නැහැ.

රටේ ස්වභාවික සම්පත් සූරාකෑමේ පටු අරමුණින් යුතුව ක්‍රියාත්මක වන විවිධ විදේශීය බලවේග විසින් රට අස්ථාවර කිරීමට සැලසුම්සහගතව සිදු කරන හමුදා කුමන්ත්‍රණ, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය, සිවිල් යුද ගැටුම්වලින් ද පිරුණු රටකි.

දේශපාලන හා සමාජයීය ව්‍යසන රැසක් මධ්‍යයේ සිය ජීවිතය ගැටගසා ගැනීමේ අභියෝග රැසකට මුහුණපා සිටින එරට මිලියන 23ක ජනතාවට වසංගත රෝග, සාගත, ගංවතුර, දිගුකාලීන ඉඩෝර වැනි ස්වභාවික විපත්තිවලින් ද උපරිම බැට කා සිටිනවා.

මේ වන විට ලොවම කතා කරන ඉබ්‍රාහිම් ට්‍රවුරේ නමැති ළාබාල හමුදා නිලධාරියා බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය උදුරා ගන්නේ එවැනි පසුබිමකදීයී.

ඔහු බලයට පත්වන්නේ ද 2022 වසරේ සැප්තැම්බරයේ සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින්.

එය වසරේ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ද විය. ඊට පෙර ජනවාරියේදී එවකට බලයේ සිටි ජනාධිපති රොච් කබෝරේගේ රජය පෙරළා දමා ලුතිනන් කර්නල් පෝල් හෙන්රි ඩමීබා රාජ්‍ය බලය පැහැරගත්තා.

ඔහුගේ නායකත්වයෙන් යුතු ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ දේශප්‍රේමී ව්‍යාපාරයට (The Patriotic Movement for Safeguard and Restoration – MPSR) එරට මිලිටරි සහාය නොඅඩුව ලැබී තිබුණා.

හමුදා කුමන්ත්‍රණවලින් රාජ්‍ය බලය අත්පත් කරගත් නායකයන්ට ජනතා ප්‍රසාදයක් නැහැ. එවැනි රටවල ජුන්ටා ආණ්ඩු වැඩි කාලයක් පවතින්නේ ද නැහැ.

ඩමීබා මිලිටරි ජුන්ටාවට ද එම ඉරණම අත්විය. 2022 ඔක්තෝබරයේදී යුද හමුදා කපිතාන් 34 හැවිරිදි ඉබ්‍රාහිම් ට්‍රවුරේ නිල වශයෙන් රටේ නායකත්වයට පත්වූ අතර, ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ දේශප්‍රේමී ව්‍යාපාරයේ නායකයා ද වුණා.

ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවක් සඳහා ප්‍රතිඥා දෙමින් රටේ නායකත්වයට පත්වූ කපිතාන් ඉබ්‍රාහිම් ජනතාවට පොරොන්දු වූයේ 2024 ජූලි මාසයේදී ජනාධිපතිවරණය පවත්වන බවටයි.

ඒ දක්වා දෙවසරක කාලසීමාව තුළ බුර්කිනා ෆාසෝ ජනතාවට සිය උපරිම සේවය ඉටු කිරීම ඔහුගේ අරමුණ වී තිබුණා.

කුමන්ත්‍රණ

බුර්කිනා ෆාසෝ ඉතිහාසය වෙනස් වූයේ එතැන් සිටයි. කිසිදු දේශපාලන දැනුමක් නොතිබූ මේ ළාබාල හමුදා නායකයා එම දෙවසරක කාලය තුළ බුර්කිනා ෆාසෝ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත්වූවා පමණක් නොව එතෙක් කාලයක් ලෝක සිතියමේ කිසිදු පිළිගැනීමකට ලක්නොවූ මේ දිළිඳු රාජ්‍යයට ජාත්‍යන්තර අවධානය ගෙන දීමට සමත්වූයේ විමතිය දනවනසුලු සංවර්ධනයකට උරදෙමින්.

එම දෙවසරක කාලසීමාවේ ඔහු විසින් ගනු ලැබූ තීන්දු තීරණ සමස්ත අප්‍රිකානු කලාපයේ පළපුරුදු රාජ්‍ය නායකයන්ගේ නළල්තල රැළි ගැන්වූ එකක් වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ණය ආධාර ප්‍රතික්ෂේප කිරීම.

බුර්කිනා ෆාසෝ හි ප්‍රංශ හමුදා මෙහෙයුම් තහනම් කිරීම.

එරට රැඳී සිටි ප්‍රංශ හමුදාව රටින් පිටුවහල් කිරීම

මීට අමතරව ඔහු විසින් සපුරාගනු ලැබූ දැවැන්ත ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ක්‍රියාවලිය එවැනි රාජ්‍යයකට පහසුවෙන් ළඟා විය නොහැකි ඉලක්කයන් වනවා.

වසර දෙකක් ඇතුළත එවැනි සංවර්ධන ක්‍රියාවලියක් එතෙක් අප්‍රිකානු මහාද්වීපයේ කිසිදු රාජ්‍යයකට අත්කරගත නොහැකිවූ බව විචාරකයන්ගේ අදහසයි.

රටේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 18.8 සිට 22.1 දක්වා ඉහළ නැංවීම.

අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 50%කින් ඉහළ නැංවීම.

බුර්කිනා ෆාසෝ දේශීය ණය පියවා දැමීම.

බුර්කිනා ෆාසෝ හි පළමුවරට තක්කාලි ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක් ආරම්භ කිරීම. එමගින් එරට අපනයන ආර්ථිකය ඉහළ නැංවීම.

තක්කාලි නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3,15,000 සිට මෙට්‍රික් ටොන් 3,60,000 දක්වා ඉහළ නැංවීම.

දේශීය ආර්ථිකය වර්ධනය කිරීම සඳහා රන් ආකර සංවර්ධනය කිරීම.

යුරෝපයට අමිශ්‍රිත රන් අපනයනය අත්හිටුවීම. එමගින් රටේ රැකියා අවස්ථාව ඉහළ නැංවීම.

ට්‍රැක්ටර් වැනි උපකරණ ප්‍රදානය කරමින් එරට කෘෂි කර්මාන්තය නඟාසිටුවීම.

මෙනේරි නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 9,07,000 සිට මෙට්‍රික් ටොන් මිලියන 1.1 දක්වා ඉහළ නැංවීම.

සහල් නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2,80,000 සිට මෙට්‍රික් ටොන් 3,26,000 දක්වා ඉහළ නැංවීම.

මංමාවත් හා යටිතල පහසුකම් පුළුල් සංවර්ධනයට ලක් කිරීම.

වාර්ෂිකව මගීන් මිලියනයක් හුවමාරු වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදි කිරීම.

බුර්කිනා ෆාසෝ හමුදා නායකයකු කෙරෙහි එවැනි ප්‍රසාදයක් සහ ජනප්‍රියත්වයක් ජනතාව අතර පැතිරී ගියේ දශක ගණනාවකට පසුවයි. ඊට පෙර එවැනි ජනප්‍රියත්වයක් හිමි වූයේ අසූව දශකයේ එරට පාලනය කළ හමුදා නායක තෝමස් සන්කාරාටයි.

සමස්ත අප්‍රිකානු කලාපයෙන් බිහිවූ විශිෂ්ටතම හමුදා පාලකයා ලෙස ප්‍රකටව සිටි මේ මාක්ස්වාදී හමුදා කපිතාන්වරයා 1983 අගෝස්තුවේ සිට 1987 ඔක්තෝබරයේදී ඔහුගේම සමීප සගයකු වන හමුදා නිලධාරි බ්ලේස් කොම්පෝරේ සිදු කළ හමුදා කුමන්ත්‍රණයකදී ඝාතනය වනතුරු බුර්කිනා ෆාසෝ රාජ්‍යය පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික හා සමාජයීය ප්‍රතිසංස්කරණයක් සිදු කළා.

අවුරුදු 33දී එරට හමුදා පාලකයා බවට පත්වූ සන්කාරා සිදුකළ විප්ලවීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් එවකට ඔහු හඳුන්වනු ලැබුවේ ‘අප්‍රිකාවේ චේ ගුවේරා‘ නමින්. ඔහු ‘අවංක ජනතාවගේ භූමිය‘ නමින් බුර්කිනා ෆාසෝ ජාතික ගීය නිර්මාණය කරනු ලැබුවා. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය අධිරාජ්‍ය විරෝධී එකක්. ඉබ්‍රාහිම් මෙන්ම සන්කාරා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කළ අතර, රටේ ආර්ථික සංවර්ධනයට උරදෙන ඇතැම් විදේශීය ආධාරවලට පමණක් දොරටු විවර කළා.

විදේශ ප්‍රතිපත්තිය

අද ඉබ්‍රාහිම් ට්‍රවුරේ ගමන් කරන්නේ ද සන්කාරා ගිය අඩිපාරේමය. ඔහුද දැඩි මාක්ස්වාදී මතධාරියකු වන අතර, අධිරාජ්‍ය විරෝධී සංකල්පය පෙරදැරිව විදේශ ප්‍රතිපත්තියක් සකස් කළේය. විශේෂයෙන් රන් ආකර වැනි රටේ ස්වභාවික සම්පත් සූරා කෑමේ පටු චේතනාවෙන් යුතුව බුර්කිනා ෆාසෝ රාජ්‍යයට ඇතුළුවීමට උත්සාහ ගත් බටහිර අදෘශ්‍යමාන බලවේග රැසක් වේලාසනින්ම හඳුනා ගැනීමටත්, රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය උදෙසා දැඩි පියවර ගැනීමටත් පසුබට නොවීය. 2024 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ බලහුවමාරුවකට අවස්ථාව උදා කරමින් පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය ඔහු විසින් අවලංගු කරනු ලැබුවේ බුර්කිනා ෆාසෝ රාජ්‍යය තවදුරටත් බටහිර ආධිපත්‍යයෙන් ඈත් කර තැබීමේ අරමුණ ඇතිවය.

‘වඩාත් වැදගත් වෙන්නේ ආරක්ෂාව. ප්‍රමුඛතාව දිය යුතු වන්නේ ජනාධිපතිවරණයට නොව රටේ ආරක්ෂාවටයි.‘ එසේ කියමින් ඉබ්‍රාහිම් ට්‍රවුරේ තවත් වසර පහකට ජුන්ටා බලය දීර්ඝ කළේය. ඒ සඳහා මාස 60ක නව අන්තර්වාර රාජ්‍ය ගිවිසුමකට ද ඔහු අත්සන් තැබුවේය. ඒ අනුව එරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2029 වසරේදීය. එතෙක් ඔහු සිය රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් තවත් විශාල වැඩ කොටසක් ඉටු කරනු ඇත. ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ට අනුව මීළඟට පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව ද මේ වන විට ඉබ්‍රාහිම් ට්‍රවුරේ නිර්මාණය කරගෙන සිටින බවය. ඒ සඳහා රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ද ඔහුට ලැබෙනු ඇතැයි වාර්තා පළ වී තිබේ.

රටේ හමුදා පාලනය ස්ථාපිත කිරීමෙන් පසු ඔහු පළමුව සිදු කරනු ලැබුවේ ප්‍රංශ අධිරාජ්‍යවාදී තෝතැන්නක් බවට පත්වී තිබූ සිය රට ඉන් මුදා ගැනීමට පියවර ගැනීමය. එරට සිදු කරන ප්‍රංශ හමුදා මෙහෙයුම් අත්හිටුවීමටත්, ඔවුන් රටින් පිටුවහල් කිරීමටත් පියවර ගනු ලැබුවේ ඒ අනුවය. බටහිර ආධිපත්‍යය තදින්ම ප්‍රතික්ෂේප කළ ඉබ්‍රාහිම් සිය ධුර කාලයේ ආරම්භක අවධියේදීම රුසියාවට සමීප විය. ඔහු වාමවාදී ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පියවර ගත් අතර, රුසියානු පැරාමිලිටරි හමුදා කණ්ඩායමක් බුර්කිනා ෆාසෝ වෙත ගෙන්වා ගැනීම වැනි උපාය මාර්ගික පිළිවෙත් තුළින් බටහිර රටවලට ප්‍රබල පණිවුඩයක් නිකුත් කළේය. ඉන් නොනැවතී ඔහු එතෙක් බටහිර රටවල ආයෝජන සමාගම්වල ආධිපත්‍යයට යටවූ එරට රන් ආකර නැවත රජයට අත්කර ගැනීමට කටයුතු කළ අතර, රජයේ රන් ආකර සමාගම් දෙකක් බිහි කරමින් විදේශීය ආධිපත්‍යයට නතුවූ බුර්කිනා ෆාසෝ රන් ආකර කැණීම් කටයුතු රජයට පවරා ගත්තේය.

ඉබ්‍රාහිම් ට්‍රවුරේ සිය කෙටි ධුරකාලය අතරතුර කලාපීය මට්ටමෙන් සිදුකළ තවත් කැපී පෙනෙන කාර්යභාරයක් වන්නේ බටහිර අප්‍රිකානු රාජ්‍යයන්හි ආර්ථික ප්‍රජාව සංවිධානයෙන් ඉවත්වී බුර්කිනා ෆාසෝ මෙන්ම දිළිඳු රටවල් වන නයිජර් සහ මාලි රාජ්‍යයන් සමඟ එක්ව සහේල් රාජ්‍ය සන්ධානය නමින් (the Alliance of Sahel States (AES) සංවිධානයක් බිහි කරගැනීමටය. නයිජ් සහ මාලි රාජ්‍යයන් ද හමුදා පාලනය යටතේ පවතින බටහිර අප්‍රිකානු කලාපයේ දිළිඳු රටවල්ය.

අපේක්ෂා

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ජනප්‍රියත්වය සහ ආධිපත්‍යය සමස්ත අප්‍රිකානු කලාපයේ පමණක් නොව ලොව පුරා පැතිරී යෑමට හේතුවූයේ එම කාර්යභාරය පමණක්ම නොවීය. ඔහු විසින් වරින් වර සිදු කළ බටහිර විරෝධී ප්‍රකාශයන් ද ඊට ප්‍රබල සාධක බවට පත්වී තිබිණි. මේ දිනවල සමාජ මාධ්‍යජාලයේ සහ ජාත්‍යන්තර මාධ්‍ය අතර දැඩි කතාබහට ලක්වෙමින් ‘වයිරල්‘ වන්නේ එවැනි ප්‍රකාශ මාලාවකි. ඔහු 2023 වසරේ ජූලි මාසයේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවරදී රුසියානු නායක ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රුසියානු- අප්‍රිකා සමුළුවේදී සිදු කළ දේශනයේදී අප්‍රිකානු කලාපයේ පළපුරුදු රාජ්‍ය නායකයන් දැඩි විවේචනයට ලක් කළේය. එය ඔහු විසින් ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධ දේශනයකට එක්වූ පළමු අවස්ථාව ද විය. සැබැවින්ම ඉබ්‍රාහිම් එවැනි අවස්ථාවක් අපේක්ෂාවෙන් පසුවිය. ‘අධිරාජ්‍යවාදින්ගේ නූලට නැටවෙන පඹයන් වගේ හැසිරීම නතර කරන්න.‘ සිය දේශනය අතරතුර ඔහු එසේ කියමින් සමුළුවට පැමිණි සියලු අප්‍රිකානු නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කළේය.

එය රුසියානු මාධ්‍ය විසින් ඉහළින්ම ප්‍රචාරය කරනු ලැබීය. තවත් අවස්ථාවකදී ඔහු බටහිර මාධ්‍ය පතුරු ගැසුවේය. බටහිර මාධ්‍ය සමාගම්වල න්‍යාය පත්‍රය දැඩි විවේචනයට ලක් කළේය. අප්‍රිකානු මහාද්වීපය සම්බන්ධව ලිපි පළ කිරීමේදී වසංගත, දරිද්‍රතාව, සාගත, දූෂණ වංචා හැරුණු විට අප්‍රිකාවේ බොහෝ රටවල් විසින් අත්පත් කරගනු ලැබූ සාර්ථකත්වය සම්බන්ධව සටහන් නොකරන්නේ මන්දැයි විමසා සිටියේය. බටහිර මාධ්‍ය සිය පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බව කියමින් ඔහු විසින් කළ ප්‍රකාශයන් මීට පෙර අප්‍රිකානු මහාද්වීපයේ කිසිදු රාජ්‍ය නායකයකු විසින් සිදු කර නොතිබිණි.

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ප්‍රකාශ ඉතා ප්‍රබලය. බටහිර කොලනිවාදයට එරෙහිව ඔහු විසින් වරින් වර සිදු කළ ප්‍රකාශ බහුතර තරුණ පරපුරක් ජීවත්වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ උදාන පාඨ බවට පත්වී තිබේ. බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ පමණක් නොව සමස්ත අප්‍රිකානු කලාපය පුරා තරුණ පරපුර අතර මේ හමුදා නායකයාට ලැබී ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ඔහුගේ මේ අසීමිත ජනප්‍රියත්වය සහ තරුණ නායකත්වය අප්‍රිකානු මහාද්වීපයට අරුණෝදය උදා කර ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ප්‍රතිපත්තීන් හා ගතිපැවතුම් සම්බන්ධව වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සිය පෞද්ගලික ජීවිතය දේශපාලනයෙන් ඈත් කර තබා ගැනීමය. ලොව පුරා බොහෝ රාජ්‍ය නායකයන් මෙන් ජනපති ආර්යාව පෙරටු කර ගනිමින් විදෙස් සංචාරවලට හෝ විවිධ උත්සවවලට සහභාගි නොවන අතර ඔහු එම ප්‍රතිපත්තිය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගේ බිරිය හා දරුවන් පොදු උත්සව කටයුතුවලට සහභාගි නොවන අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන් දැකගැනීමේ හෝ කතාබහ කිරීමේ අවස්ථාව ඔහුගේ සමීපතමයන්ට පවා ලැබෙන්නේ කලාතුරකිනි.

ඉබ්‍රාහිම් ට්‍රවුරේගේ ජනකාන්තභාවය නොඑසේ නම් කැරිස්මාව එක් රැයකින් උදාවූවක් නොවීය. එය ඔහු විසින් කෙටි කාලයක් ඇතුළත සිදු කළ ආශ්චර්යක් බඳු සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. බුර්කිනා ෆාසෝ වැනි අන්ත දිළිඳු රාජ්‍යයක් ඔසවා තැබීම අවුරුදු තිස්ගණන්වල පසුවන තරුණ රාජ්‍ය නායකයකුගෙන් අපේක්ෂා කළ නොහැක්කකි. ඔහු ලොව පුරා ධනවත් රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක්වී ඇත්තේ එබැවිනි.

World News