ශ්‍රී ලංකාවේ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකවී තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අංශය මඟින් නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදු කරන ලද පළමු ගැබ් ගැන්වීම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව හෙළි කෙරුණා.
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ මෙය අඩු වියදමක් යටතේ සේවා ලබාගත හැකි සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානයයි.
දරු සුරතල් බැලීමේ නොතිත් ආශාවෙන් පසු වුවද ඒ සඳහා පෞද්ගලික අංශයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට තරම් මූල්‍යමය අතින් පොහොසත් නොවන අඹුසැමියන් අපේ රටේ බොහෝ ප්‍රදේශවල සිටින බැවින් ආර්ථික පසුබිම නොසලකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ සාඵල්‍යතා ප්‍රතිකාර දැරිය හැකි මිලකට ලබා දීමට මේ තුළින් පසුබිම සකස් වන බව මෙහිදී අනාවරණය කළා.
රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවාවකින් මෙවැනි වටිනා අවස්ථාවක් දරුවකු පිළිබඳව සිහින මවන ඕනෑම යුවළකට දැරිය හැකි සහනදායී මිලකට ලබා දීම මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මූලික අරමුණ වී තිබෙනවා.