Latest News

🌧 𝗔𝗗𝗩𝗘𝗥𝗦𝗘 𝗪𝗔𝗘𝗔𝗧𝗛𝗘𝗥 𝗦𝗟: වැසි සහ සුළං තත්ත්වය ගැන දැනුම්දීමක්

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1,757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වර්ෂාවෙන් සහ සුළං දිස්ත්‍රික්ක 9කට බලපා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙහිදී නිවාස 3ක් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවද සඳහන්.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් හට ගත්තා.

මේ අතර දුලිබල මණ්ඩලය පවසන්නේ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් වාර්තා වී ඇති බවයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ ඒවා කඩිනමින් යථා තත්වයට පත් කිරීම සදහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

ඒ අනුව, එවැනි බිද වැටීම් තිබේනම් 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී ඊ බී ඇසිස්ට් ජංගම යෙදවුම හරහා දැනුම් දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කුඩා යාත්‍රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින්.

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 – 50ත් දක්වා ඉහල යා හැකි අතර එය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 ත් දක්වා වැඩිවිය හැකි බවයි.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50 – 60ත් දක්වා පමණ දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සුළං සමග වැසි තත්ත්වය ලබන 02වැනිදා දක්වා පැවැතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහි අධ්‍යක්ෂ ජෙනාරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, දිවයිනට ඊසාන දෙසින් පැවැතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම ශ්‍රී
ලංකාවේ කාලගුණයට තවදුරටත් බලපෑම් එල්ල කරමින් පවතින බවයි.

මේ වනවිට අඩු පීඩන කාලාපය බංග්ලාදේශයට ඇතුළු වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ, එහි බලපෑම හේතුවෙන් අද (30) දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

World News