Latest News

නිළි රැජිණ මාලිනීයගේ අවසන් කටයුතු අද

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී අද (26) පස්වරුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය අද (26) පෙ.ව. 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතයි.

ඉන්පසුව, පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට කටයුතු යොදා තිබෙනවා.

මාලිනී ෆොන්සේකා මහත්මිය පෙරේදා (24) අලුයම අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඇය 78 වැනි වියෙහි පසු වුණා.

ඇයගේ නිසල දේහය එදින පස්වරුවේ මාදිවෙල, අනුර මාවතේ ඇයගේ නිවෙසේ තැන්පත් කර තැබූ අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට ඊයේ (25) ගෙන එනු ලැබුවා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම හා අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පෙරේදා (24) පස්වරුවේ පැවැත්වුණා.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවමංගල්‍යය අවස්ථාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහත්වරු සහ කලාකරුවන් හා මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියා.

හෙළ සිනමාවේ ආදරණීය මතක ගොන්නක් තිළිණ කළ නිළි රැජිණිය අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දේහය තැන්පත්කර ඇති තරංගනී සිනමා ශාලාවට පැමිණ මාලනී ෆොන්සේකා මහත්මියට අවසන් ගෞරව දැක්වූවා.

World News