පාකිස්තානයේ හමුදාපති ජෙනරාල් අසීම් මුනීර් ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කර තිබෙනවා.
පාකිස්තාන අගමැති ශෙබාස් ෂරිෆ්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු ජනාධිපති අසිෆ් අලි සර්දාරි මුණගැසී මේ පිළිබඳ ප්‍රකාශ කළ බව පාකිස්තාන අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
වසර 1947දී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු එරට හමුදාවේ ෆීල්ඩ් මාෂල් නිලයට පත්වූ දෙවැනි පුද්ගලයා ලෙස අසීම් මුනීර් ඉතිහාසයට එක්වූ අතර, ඊට පෙර 1959 දී එවකට සිටි ජනාධිපති ජෙනරාල් අයුබ් ඛාන් සිය බලතල භාවිත කරමින් ඔහු විසින්ම ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කර ගත් බව වාර්තා වනවා.
පාකිස්තාන හමුදාවේ සමස්ත නියෝග, පාලනය හා පරිපාලනය සම්බන්ධව වගකිවයුතු එරට ඉහළම හමුදා නිලය වන ෆීල්ඩ් මාෂල් නිලය සඳහා පත්වූ අසීම් මුනීර් ජාතික ආරක්ෂාව සම්බන්ධව අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන හමුදා උපදේශකවරයා ලෙසත් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.