Latest News

ලංකාවේ වාහන මිල ගැන ජපානය දුක්වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයෙන්, ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා, සාකච්ඡාවකදී කනස්සල්ල පළ කර තිබෙනවා.

ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවන බදු අනුපාත, අනෙක් රටවලින් ගෙන්වන විද්‍යුත් මෝටර් රථවලට පනවන බදු අනුපාත හා සසඳන විට ඉහළ මට්ටමක පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහනවල බදු අනුපාත පිළිබඳව අනිවාර්යයෙන් සාකච්ඡා කළ යුතු බව තානාපතිවරයා අවධාරණය කළා.

කෙසේ වුවත්, හුදෙක් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් පෙන්වීමට පමණක් ජපානය ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට සූදානම් නැති බවයි ඔහු පවසන්නේ.

එසේම, මෙතෙක් ශ්‍රී ලංකාවන් එවැනි ගිවිසුමක් සඳහා ඉල්ලීමක් ලැබී නැති බවත් ඔහු සඳහන් කරනවා.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් යථාර්ථවාදී වන්නේ එමඟින් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බව ඉසොමාටා මහතා පෙන්වා දෙනවා.

දේශපාලනික හෝ සංකේතාත්මක හේතු මත එවැනි ගිවිසුමකට එළැඹීමට ජපානය කිසිසේත් සලකා නොබලන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානයේ අත්දැකීම් බෙදාහදා ගනිමින්, තානාපතිවරයා සඳහන් කළේ, තීරුබදු ප්‍රකාශයට පත් වූ වහාම පසුගිය අප්‍රේල් 7 වැනිදා ජපාන අගමැතිවරයා ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ලබා දුන් බවයි.

එහිදී තීරුබදු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළ බවත් ඔහු පැවසුවා.

අමෙරිකාව සමඟ වෙළෙඳ ගැටලු ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන බවත්, ජපානයට මෙය නව අර්බුදයක් නොවන බවත් තානාපතිවරයා පෙන්වා දුන්නා.

1930 දශකයේදී කපු රෙදි පිළි අමෙරිකාවට අපනයනය කිරීමේදී මෙවැනි ගැටලුවක් මතු වූ බවත්, එහිදී ස්වේච්ඡා අපනයන සීමා ක්‍රියාත්මක කිරීමට ජපානයට සිදුවූ බවත් ඔහු සඳහන් කළා.

1970 දශකයේදී ද මෙවැනි ගැටලුවක් නැවත මතු වූ බවයි ඉසොමාටා මහතා වැඩිදුරටත් පැවසුවේ.

World News