ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබුණා.
ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජපානය ශ්‍රී ලංකාවේ වංචා හා දූෂණ වලට ගොදුරක් වූ බවයි.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ ඇගයුමට ලක් කරමින් ජපන් තානාපතිවරයා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබෙනවා.
ඒ නුව ශ්‍රී ලංකාවේ වංචා දූෂණවලට ජපානය ගොදුරක් වූ බව මෙරට ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා පවසනවා.
පාත් ෆයින්ඩර් පදනම පසුගියදා කොළඹ දී පැවැත්වූ වටමේස සාකච්ඡාවක දී ජපන් තානාපතිවරයාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමකදී මේ බව ප්‍රකාශ කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සිදුවූ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට දැඩි පීඩනයක් එල්ල වූ බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.
මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට වත්මන් ආණ්ඩුව සුදුසු පියවර අනුගමනය කරනු ඇති බවයි තමන් උපේක්ෂා සහගතව සිටින බවද තානාපතිවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ආයෝජන සුරක්ෂිත කිරීමේදී ඇතැම් ජපන් සමාගම් තවත් පාර්ශ්වයක් සමග ගනුදෙනු කිරීමේ දී කිසිදු අවස්ථාවක අල්ලස් ලබාදීම් කොමිස් මුදල් ලබාදීම් ආදී වංචනික කටයුතු වලට සම්බන්ධ නොවන බැවින් එවැනි කටයුතුවලට ඉඩ නොතබන ලෙසත් අකියෝ ඉසොමාටා මහතා පෙන්වා දී තිබුණා.
මීට පෙර ජපන් සමාගම් විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දුන් බවද ජපන් තානාපතිවරයා සිහිපත් කළා.
ඉන්දීය සාගාරයේ උපායමාර්ගික පිහිටීම් සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක් වුවත් සාධාරණ විශ්වාසදායක සහ විනිවිධභාවයෙන් යුත් ව්‍යාපාරික පරිසරයක් ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම ජපන් සමාගම් කිහිපයක් ද මෙය අවධාරණය කර තිබුණා.
දූෂණයට පිටුදැකීමේ අරමුණෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණ විරෝධි ක්‍රියාකාරී සැළැස්මක් ආරම්භ කිරීම ගැන තමන් සතුටට පත්ව සිටිනවා.
එවැනි දූෂණ විරෝධි සැළසුම් ක්‍රියාත්මකවීම ඉතා වැදගත් බව තමා විශ්වාස කරන බවද ජපාන තානාපතිවරයා අවධාරණය කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකාව බොහෝ පැතිවලින් ජපානයට ඉතා වැදගත් හවුල්කරුවෙකු බව සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ජපන් සමාගම් සහ නව ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි ජපන් තානාපතිවරයා වැඩිදුරටත් අපේක්ෂා කරන්නේ.
ඒ සඳහා සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට රජය කැපවිය යුතු බවයි ජපන් තානාපතිවරයා සඳහන් කළේ.