පෙහෙල්ගාම් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසින් ඉන්දියාව විසින් පාකිස්තානය සහ කාශ්මීරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයන්ට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් දිවිපිදූ සෑම පාකිස්තාන වැසියෙකුගේම ලේ බිඳුවකටම පළිගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසනවා.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ ජාතිය අමතමින් මේ බව සඳහන් කළා.
මේ අතර අද උදෑසන පාකිස්තානයේ ලාහෝර් නුවර පිපිරීමක් වාර්තා වු අතර පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් නුවරට ඉහළ අහසේදී ඉන්දියාවට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බවයි.
එමෙන්ම මෙම ඩ්‍රෝන යානයේ පුපුරණ ද්‍රව්‍ය ද අන්තර්ගතව තිබූ බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තාකරනවා.
මේ අතර ඉන්දීය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළගොස් ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තාකරනවා.
ඉන්දියානු ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි කිහිපයක් සුන්බුන් බවට පත්ව ඇති ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පාකිස්තානට එල්ල කළ ප්‍රහාර හමුවේ කිසිදු සිවිල් වැසියෙකුට බලපෑම් එල්ලවී නොමැති බවයි.
එමෙන්ම ඉන්දියාවට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් සිය ආරක්ෂක අංශ වෙත සහාය ලබාදීම වෙනුවෙන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර විශාල ජන රැළියක් සංවිධානය කර තිබුණා.
මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරයේ පවතින දේශසීමා ආසන්නයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබු පිරිස් රෝහල්ගත කෙරුණා.
ඉන්දියානු පාලන ප්‍රදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 43දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවනවා.
තවද, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බොහෝ ගුවන් සේවා පාකිස්ථාන සහ උතුරු ඉන්දියානු ගුවන් කලාපය භාවිත කිරීමද අත්හැර දමා ඇති බවද වාර්තාවනවා.
පාකිස්තානයේ ලාහෝර්, කරච්චි සහ සියල්කොත් ගුවන් තොටුපළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි පාකිස්ථාන සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයද ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මේ අතර ඉන්දියානු පාකිස්තාන යුද ගැටුම සමනය කිරීම වෙනුවෙන් තමන් මැදිහත්වීමට සූදානම් බව අමෙරිකානු ජනපතිවරයා පවසනවා.