නීතිවිරෝධී වෙළෙඳාමේ අභියෝග ජයගැනීමට සමත්වූ රටවල් 158ක් ඇතුළත් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඩෙන්මාර්කය පළමු ස්ථානයේ පසුවන බවත්, අමෙරිකාව දෙවැනි ස්ථානයේ සහ ජර්මනිය තුන්වැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ලැයිස්තුවේ යේමනය එහි අවසන් ස්ථානයේ පසුවන බවයි වාර්තා වන්නේ.
නීතිවිරෝධී වෙළෙඳාමට එරෙහි අන්තර්ජාතික සන්ධානය විසින් පසුගියදා එම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
නීතිවිරෝධී වෙළෙඳාමේ අභියෝගවලට මුහුණදීමට ඉහළම හැකියාව ඇති රටවල් ශ්‍රේණිගත කිරීම්වල පළමු සියයට එක්වීමට ඉන්දියාව (52), ශ්‍රී ලංකාව (73), සහ බංග්ලාදේශය (95) සමත් වී තිබෙන බව ද වාර්තා වනවා.
එම අභියෝග මැඬ පැවැත්වීමට හැකියාව ඇති සාර්ථකම දකුණු ආසියාතික රටවල් බවට එම රටවල් පත්වෙද්දී පාකිස්තානය 101 වැනි ස්ථානයට පත්වී තිබෙනවා.
මේ තත්ත්වය මත පාකිස්තානයට රුපියල් බිලියන 751ක වාර්ෂික ආදායමක් අහිමිවන බව එරට ‘දි නිව්ස් ඉන්ටර්නැෂනල්‘ පුවත් සේවය සඳහන් කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 300ක්ම අහිමිවී ඇත්තේ නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳාම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මේ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා නීතිවිරෝධී වෙළෙඳාම අවහිර කිරීමට දේශසීමා ආරක්ෂාව ඉහළ නැංවීම මෙන්ම අභ්‍යන්තර වෙළෙඳාම නියාමනය කිරීමට පියවර ගත යුතු බවට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.