ජම්මු කාශ්මීරයේ ප්‍රහාරය සිදුකිරිමේ වගකීම භාරගත් TRF සංවිධානයට පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් සහ කරච්චි නුවර ලක්ෂරී තයීබා ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම් කටයුතු සිදු කරන ස්ථාන දෙකක් සමඟ සම්බන්ධතා පවත්වා ඇතැයි ද, ලෂ්කරී තයිබා ත්‍රස්ත සංවිධානයේ නායකයකු වන සයිෆුල්ලා සජීඩ් කාශ්මීර ප්‍රහාරයේ මහමොළකරු ලෙස කටයුතු කර ඇතැයි ද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ලෂ්කරී තයිබා සංවිධානයට අයත් එම ස්ථාන ද්විත්වය පාකිස්තාන යුද හමුදාව සහ එරට අන්තර් බුද්ධි සේවාව මගින් අධීක්ෂණය කරනු ලබන ස්ථාන බවත් ඉන්දීය බුද්ධි අංශ හෙළි කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
ඉන්දියාව මේ වනවිට විදේශ රටවල ක්‍රියාත්මක තාක්ෂණික බුද්ධි අංශ හා ඇසින් දුටු සාක්ෂිවලින් සොයාගත් පරිදි කාශ්මීර ප්‍රහාරයට පාකිස්තානයේ සම්බන්ධතාවක් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
පාකිස්තානය යටතේ පාලනය වන කාශ්මීර් කලාපයේ ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ස්ථාන සහ පුහුණු කඳවුරු රැසක් ඇති බවත්, එහි පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් 150-200 අතර ප්‍රමාණයක් ජම්මු කාශ්මීර දේශසීමාව ආක්‍රමණය කිරීමේ සූදානමින් පසුවන බවත් ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.