139 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.
1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරනු ලබනවා.
කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කර තිබෙනවා.
සෑම වසරකම, ජාත්‍යන්තර කම්කරු දින උත්සව සඳහා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ වැදගත් ගැටලුවක් හෝ අංගයක් අවධාරණය කරන නව තේමාවක් හෙළිදරව් කරනු ලබනවා.
නමුත් විශේෂත්වය වන්නේ මෙවර එවැනි තේමාවක් නිකුත් නොකර තිබීමයි.
ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා ආර්ථිකයන් සහ ප්‍රජාවන් හැඩගැස්වූ කැපවීම සහ කාර්යය සඳහා කැපවූ වැඩ කරන ජනතාවට ගෞරවයක් පුද දීම වස් සැමරීම සිදු කරනවා.
ඔවුන්ගේ උත්සාහයන්ට ගරු කිරීම පමණක් නොව, ඔවුන්ගේ අයිතිවාසිකම් අවබෝධ කරගැනීමටත්, සමාජය තුළ කම්කරුවාට ඇති අයිතීන් පිළිබඳවත් දැනුම්වත් කිරීමට මෙහිදී අභිප්‍රාය වනු ඇති.
සමාජ සාධාරණත්වය, සහයෝගීතාව සහ කම්කරු අයිතිවාසිකම් සඳහා අඛණ්ඩ අරගලයේ බලගතු නිරූපණයක් දක්වා මේ වනවිට කම්කරුවා සමාජය තුළ සිදු කරන සාධනීය බලපෑම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවා විටින් විට වාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ මැයි දිනය පැවැත්වීම ආරම්භ වනුයේ 1933 දීයී.
එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හීදි මේ මැයි රැලිය පවත්වනු ලැබුවා.
මෙහි තේමාව වූයේ “ රාජ්‍ය පාක්ෂික වෙමු” යන්නයි.
මේ අවස්ථාවට යටත් වජිත ආණ්ඩුවේ නිලධාරීන්ට හා ඔවුන්ගේ බිරියන්ට ආරාධනා කර තිබුණා.
1934 දී ශ්‍රී ලංකාවේ දෙවන මැයි දිනය පැවැත්වූයේ මාක්ස්වාදී සංගමයයි.
මෙය ප්‍රථම වරට වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන මැයි දින සැමරීම වනවා.
දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක්හිදී පැවැත්වුණා.
මෙහි තේමාව වූයේ “ජාතික නිදහස හා සමාන වැටුප්” යන්නයි.
මෙම මැයි රැලියේ ප්‍රධාන කථිකයා වූයේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයි.
ඊටත් වඩා ප්‍රබල මැයි දිනයක් 1935 දී පැවැත්වුණා.
මෙය ලංකා සම සමාජ පිහිටුවීම ආසන්නයේදී පැවැත්වුණු අතර වැල්ලවත්ත රෙදිමෝලේ සේවක ගැටලුවක් මුල්කරගෙන පසු කලෙක ලංකා සම සමාජ පක්‍ෂයේ නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිතියක්ද පිහිටුවීම මේ වකවානුවේ සිදුවූවා.
එතැන් පටන් දිගටම ලංකා සම සමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් යන වමේ දේශපාලන පක්‍ෂවල මූලිකත්වයෙන් මැයි රැලි හා පෙළපාලි පැවැත්වුණා.
කම්කරුවන්ට එරෙහිව අසාධාරණ ලෙස සම්මත කර තිබූ නීති රීති, අතිකාල දීමනා, පැය අටේ වැඩ දිනය ඉල්ලීම යන අයිතීන් දිනා ගැනීමේ සටන් පැවැති අතර 1946 හා 1947 වැඩ වර්ජන, 1953 හර්තාලය යන සිදුවීම් සමග කම්කරු සටන් පැවතෙද්දී 1956 සිදුවූ පෙරළියත් සමග කම්කරු පන්තියට ඇහුම්කන් දෙන නායකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැති තනතුරට පත්වුණා.
ඉන්පසුව පැය අටේ සේවය නීතිගත වීම, විශ්‍රාම වැටුප් අයිතිය හිමි වීම, පුද්ගලික අංශයේ සේවකයන්ට අර්ථසාධක අරමුදල් අයිතිය ලබා ගැනීම මේ සඳහා පීටර් කෙනමන් මහතා හා එම්. ජී. මෙන්ඩිස් මහතා සිදු කළ මෙහෙය අගය කළ යුතුයි.
එමෙන්ම ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු ඇමැති ලෙස අර්ථ සාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීමට ගත් තීරණය වැදගත්.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළු වමේ ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1956 දී අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළා.
1987 හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මැයි දින පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම තහනම් කළා.
එදින ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ඇතුළු වමේ ව්‍යාපාරය සංවිධානය කළ මැයි පෙළපාළියට පොලිස් ප්‍රහාරයක් එල්ල වුණා.
කෙසේ වෙතත් අද මැයි දිනය කම්කරු පන්තියේ අවශ්‍යතා මත නොපවත්වන අතර එක් එක් දේශපාලන පක්‍ෂවල පටු දේශපාලන අවශ්‍යතා සඳහා මැයි දිනය යොදා ගැනුණා.
නිල්පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ යොදා ගනිමින් කම්කරු පන්තියේ අරමුණු අපේක්‍ෂා හා ඉල්ලීම්වලට පටහැනිව පත්වන මැයි සැණකෙළිවලින් වෙන් වී කම්කරු පන්තියේ වර්තමාන හා අනාගත අරමුණු සඳහා මැයි දිනය යොදා ගැනීම ගැන වැඩ කරන ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල හා සංවිධානවල වගකීම වනු ඇති.