ඉන්දු – පාකිස්ථාන අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාව නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි පාකිස්තානය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දීය පාලිත කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දු – පාකිස්තාන අර්බුදය උත්සන්න වූ අතර ඊට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව පාකිස්තානය සමඟ පැවැති දශක ගණනාවක් පැරණි ජල ගිවිසුමක් අත්හිටුවන බව ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මෙම සියලු කරුණු මධ්‍යයේ පාකිස්තානය අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ සලකුණක් වන නොබැඳි පිළිවෙතක සිටිනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් පාකිස්තානය දැඩි විමසිල්ලෙන් සිටින බවත්, පහල්ගම් ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ කළ දුරකථන සංවාදයෙන් පසු ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු පිළිබඳව ද පාකිස්තාන බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති බව වාර්තා වනවා.
එමෙන්ම 2025 මාර්තු 11 වැනි දින පාකිස්තානයේ බලෝකිස්තාන් පළාතේ සිබි නගරය ආසන්නයේදී ක්වෙටා සිට පෙෂාවර් දක්වා ධාවනය වූ ජෆාර් එක්ස්ප්‍රස් මගී දුම්රිය බෙදුම්වාදීන් කණ්ඩායමක් විසින් පැහැරගෙන යෑමේ සිද්ධිය හෙළාදකිමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය නොකළේ මන්දැයි පාකිස්තාන බලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ඇති පාකිස්තාන රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ, පාකිස්තානය කිසිදු ආකාරයකින් ත්‍රස්තවාදය අනුමත නොකරන බව සහ පහළගම්හි සිදු වූ දේ පිළිබඳව අන්තර්ජාතික පරීක්ෂණයකට පාකිස්ථානය සූදානම් බවයි.
තම කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්දු නදියේ ජලය අත්හිටුවීම සම්බන්ධයෙන් පාකිස්තානය යුදමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්, න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර පූර්ණ යුද්ධයක් මුළු කලාපයටම ව්‍යසනයකට තුඩුදෙනු ඇති බවත් එම මූලාශ්‍රය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිටත් නිවේදනය කර ඇත්තේ ඉන්දු – පකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටින බවයි.
මේ අතර පාකිස්තානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය වුවහොත්, ඊට සූදානම් වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට ආරක්ෂක හමුදාවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.