වාහන ආනයන තහනම ලිහිල් කිරීමෙන් පසුව ආනයනය ආරම්භ වුවත්, මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වාහන ඉල්ලුම අඩුවී ඇති බව ප්‍රධාන වාහන ආනයනකරුවෝ පවසනවා.
ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ ඉහළ ඉල්ලුමක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වුවත්, එවැනි ඉල්ලුමක් නොමැති බවත්, ඇතැම් ආනයන සීමා හේතුවෙන් සැපයුම ප්‍රමාද වන බවත් ආනයනකරුවෝ සඳහන් කරනවා.
ආනයනය කරන වාහන මාස තුනක් ඇතුළත NE ලියාපදිංචි නොකළහොත් ප්‍රතිඅපනයනය කිරීමට සිදුවන අතර, එසේ වුවහොත් ආනයනකරුට දඩයක් පැනවීම හෝ ආනයන බලපත්‍රය අහෝසි කිරීම වැනි අනිටු පලවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ.
මේ නිසා, ගැනුම්කරුවන් ඇණවුම් කිරීමෙන් පසුව පමණක් වාහන ආනයනය ආරම්භ කරන බවද ඔවුහු දක්වනවා.
මෙම තත්ත්වය යටතේ, ගැනුම්කරුවකු ඇණවුම් කළ වාහනයක් ලබා දීමට මාස පහක පමණ කාලයක් ගතවන බව ආනයනකරුවෝ පවසනවා.
ඉහළ මිල ගණන් හා සැපයුම් ප්‍රමාදය නිසා ජනතාව අලුත් වාහන මිලදී ගැනීමෙන් වැළකී, පරණ වාහන මිලදී ගැනීමට හෝ මිලදී ගැනීම අත්හරින බවද ඔවුහු සඳහන් කරනවා.
ප්‍රධාන වාහන ආනයන සමාගමක් වන ටොයෝටා ලංකා හි වෙබ් අඩවියේ වාහන මිල ගණන් සඳහන් නොමැති අතර, ඇණවුම් කිරීමෙන් පසුව පමණක් මිල ප්‍රකාශ කරන බව දැක්වෙනවා.
මීට මාස කිහිපයකට පෙර ටොයෝටා ලංකා වෙබ් අඩවියේ දක්වා තිබූ මිල ගණන්වලට අනුව, ‘ටොයොටා’ ලංකා සමාගමේ වෙබ් අඩවියේ මීට මාස කීපයකට පෙර ‘ටොයොටා’ වීගෝ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 67 ක් ද, ‘ටොයොටා’ රේස් මෝටර් රියක් රුපියල් ලක්ෂ 95 ක්ද, ටොයෝටා රජ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 153 ක් ද, ටොයෝටා ‘ යාරිස් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 175 ක්ද, ටොයෝටා ලැන්ඩ් කෘසර්-300 ජීප් රථයක් රුපියල් ලක්ෂ 940 ක් ද, ලෙස සඳහන් කර තිබුණා.
එහෙත්, එම වාහනවල මිල ද ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඇණවුම් කිරීමෙන් පසු සැපයුමට මාස හයක පමණ කාලයක් ගතවන බව වාර්තා වනවා.
සමහර ප්‍රසිද්ධ වාහන අලෙවිසැල්වල වාහන නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන අතර, ඇතැම් අලෙවිසැල්වල ඇති පරණ වාහනවල මිල ද ඉහළයි.
පසුගිය මාස කිහිපය තුළ ජපානය ඇතුළු රටවලින් කන්ටේනර් 400කට ආසන්න වාහන 950ක පමණ ප්‍රමාණයක් කොළඹ වරායට ලැබුණු බවත්, හම්බන්තොට වරායට ද සැලකිය යුතු වාහන ප්‍රමාණයක් ලැබුණු බවත් සඳහන්.
රට පුරා වාහන ආනයනකරුවන් සතුව අලුත් වාහන ඕනෑ තරම් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.
කොළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල වාහන අලෙවිසැල්වල අලුත් වාහන විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා ඇති බවත්, කොළඹින් පිටත ආනයනකරුවන් ද වාහන ගෙන්වා ඇති බවත් මානගේ මහතා සඳහන් කළා.
අලුත් වාහනයක් එහි නව මිලට මිලදී ගත හැකි බවත්, පරණ වාහනවල මිල ද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවත් මානගේ මහතා පැවසුවා.