Latest News

ඉන්දු – පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරුවක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ අංශය සිටිනවා යැයි ඉන්දියාව චෝදනා කිරීමත් සමඟ කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තාන හමුදාව එල්ල කළ එම වෙඩි තැබීම්වලින්, ඉන්දීය හමුදා සෙබළුන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත්, ඉන්දීය හමුදා ඊට ප්‍රතිචාර දකිවමින් කළ වෙඩි තැබීම්වලින් පාකිස්තාන හමුදා සෙබළුන්ට ද එයින් කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඒ අනුව එම ත්‍රස්තවාදීන්ට සහ ප්‍රහාරයට සහාය දුන්නන්ට කිසිවකුටත් සිතාගත නොහැකි ආකාරයේ පිළිතුරුක් දෙන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

බිහාර් ප්‍රාන්තයේ මධුබානි ප්‍රදේශයේ පැවැති රැලියකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාශ්මීරයේ ඉන්දීය පාලනයට අයත් ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් එම ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි සංචාරකයන් 40 දෙනකුට පසුගියදා වෙඩි තැබූ අතර ඉන් 26 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබුවා.

මියගිය අයගෙන් 25 දෙනකු ඉන්දීය ජාතිකයන් වූ අතර එක් අයෙක් නේපාල ජාතිකයෙක්.

ත්‍රස්ත ප්‍රහාරයට තිදෙනකු සම්බන්ධ බවත් ඉන් දෙදෙනකු පාකිස්තාන ජාතිකයන් බවත් ජම්මු කාශ්මීර පොලිසිය ඔවුන්ගේ ආසන්නතම රූපය මාධ්‍ය වෙත නිකුත් කරමින් පැවැසුවේ හඳුනාගන්නකුට ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනමන බවයි.

ඒ සමග පාකිස්තානය සහ ඉන්දියාව ජලය බෙදාගත් ඉන්දු ජල ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත් දේශ සීමා වසා දැමීමටත් ඉන්දීයා කටයුතු කළා.

පාකිස්තාන ජාතිකයන්ට මෙතෙක් නිකුත් කර ඇති වලංගු වීසා බලපත්‍ර එළැඹෙන 27 වැනිදා සිටත්, වෛද්‍ය හේතුන් මත නිකුත් කර ඇති වලංගු වීසා බලපත්‍ර එළැඹෙන 29 වැනිදා සිටත් අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීර් ප්‍රදේශයට 26 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දීය කැබිනට් කමිටුව ගත් තීරණ අනුව යමින් මෙලෙස සියලුම පාකිස්තාන ජාතිකයන්ගේ වලංගු වීසා බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේ.

ඉන්දියාවේ මෙම තීරණය පිළිතුරු දෙමින් පාකිස්තානයද නිදහස් කිරීමේ ක්‍රමවේදයකට යටත්ව නිකුත් කළ ඉන්දීය ජාතිකයන්ගේ වීසා අවලංගු කිරීමටත් පාකිස්තානයේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ සිටින පිරිස 30 දක්වා අඩු කිරීමටත් කටයුතු කළා.

එසේම ඉන්දීය ගුවන් සේවා සඳහා තම ගුවන් සීමාව වසා දැමීමටද පකිස්තානය තීරණය කළා.

ඉන්දු ජාල ගිවිසුම අත්හිටුවීම පාකිස්තානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස දකින බවත් ඉන්දියාව සමග සියලුම වෙළෙඳ කටයුතු නතර කරන බවත් පකිස්තානය පැවසූ අතර එහිදී ඉන්දියාව සමග තිබෙන ද්වී පාර්ශ්වික ගිවිසුම් සියල්ල අත් හිටුවීමටද පාකිස්තානය කටයුතු කළා.

World News