සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය සඳහන් කරනවා.
මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිවේදනය කරනවා.
මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටිනවා.
මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලීසිය අපහසුතාවයට පත් කිරීම හා මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.