Latest News

ලංකාවේ පළවෙනි SLPOP Girl Group එක – BeeZ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලංකාවේ පළවෙනි SLPOP Girl Group එක වෙන ‘BeeZ’ සංගීත කණ්ඩායම ගැන මේ දිනවල අහන්න ලැබෙනවා. ඒ එක්කම ‘BeeZ’ කණ්ඩායමේ අලුත්ම ගීතයකුත් එළිදැක්වීම සිදු කළ නිසා මේ කතාබහ ‘BeeZ’ ගර්ල්ස් කණ්ඩායමෙ කණ්ඩායම් නායිකාව ෆියා සමඟයි.

ෆියා කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?

මගේ නම ෆියා. මම පාසල් ගියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට. මම සාමාන්‍ය පෙළ දක්වා පමණයි සංගීතය හැදෑරුවේ. හැබැයි පොඩි කාලේ ඉඳන්ම සංගීතය සහ නැටුම් කියන දේට හරිම ආසයි. නමුත් වැඩිදුර ඉගෙනීමට මම තෝරා ගන්නේ වෙන අංශයක්. මගේ හිතේ නටන්න ගයන්න තිබුණ ආසාව නිසාම සංගීතය නර්තනය තනියම ඉගෙන ගත්තා.

Beez ගර්ල්ස් කණ්ඩායම ආරම්භ වෙන්නෙ කොහොමද?

2017දී මම කොරියාවේ තියෙන Kpop කියන සංගීත කණ්ඩායම ගැන දැන ගත්තා. එතකොට තමයි මම දැන ගත්තේ සංගීතය සහ නර්තනය කියන දෙඅංශයම ඇතුළත් සංගීත කණ්ඩයම් ගැන. ඒක දැන ගත්තට පස්සේ එක බෝයි ගෘෘප් එකක ඉදිරිපත් කිරීමක් දැකලා ඒ තුළ තියෙන ශෛලිය මම හොයන්න ගත්තා. එහෙම හොයද්දි තමයි මට මේ ශෛලිය ගැන දැන ගත්තේ. බලන් ඉන්න ආස නිර්මාණශීලි ඉදිරිපත් කිරීමක්. ඒක ලංකාවේ තිබ්බේ නැති නිසා මට හිතුණා ලංකාවෙත් මේ ශෛලිය තිබුණා නම් කියලා. මම තව තවත් මේ ගැන සොයා බැලුවා. එතකොට මට දැන ගන්න ලැබුණා කොරියාවේ පමණක් නෙවෙයි, ජපානයේ, තායිලන්තේ සහ චීනයේ තියෙනවා. ඒ එක්කම ගිය අවුරුද්දේ ඉන්දියාවේ ගර්ල් ගෘෘප් එකක් පටන් ගත්තා. ලංකාවේ විතරයි තිබුණේ නැත්තේ. ඒ නිසා ලංකාවටත් ගෙන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා මට ඕනේ වුණා මම වගේ මේකට කැමති අය හොයාගන්න. අහම්බෙන් වගේ මට ජෙයිනා හම්බුණා. ඊට පස්සේ ඉට්සෙල් (Itzel) සහ ලූනා (Luna) හම්බුණා. ඒ හරහා තමයි ‘BeeZ’ගර්ල්ස් කණ්ඩායම බිහිවුණේ.

‘BeeZ’ කියන නම යෙදුවේ ඇයි?

මම කවදා හරි මෙහෙම ගෘෘප් එකක් හැදුවොත් මම ඒක හදන්නේ ම් මැස්සා වගේ කන්සෙප්ට් එකකට කියලා. ටීම් වර්ක් කිවුවම අපිට මතක් වෙන්නේ මී මැස්සන්ව. පොප් කල්චර් එක තියෙන කිසිම රටක ‘BeeZ’ කියන නම නැහැ. ඒ නිසා ලංකාවෙම එකක් පටන් ගන්නවා නම් අපිටම අනන්‍ය වූ නමක් තියෙන්න ඕනේ කියන තැන මම හිටියා. කවුරු කොහේ ඉඳන් සර්ච් කරලා බැලුවත් අපි එන්න ඕනේ. මුලින්ම දැම්මේ Bee girl කියලා. පසුව Bee queen කියලා දැම්මා. ඒකත් කෙටි කරලා තමයි ‘BeeZ කියලා දැම්මේ.

අනෙකුත් සංගීත කණ්ඩායම්වලින් ඔබේ සංගීත කණ්ඩායම වෙනස් වෙන්නෙ කොහොමද?

ලංකාවේ ඕනේ තරම් සංගීත කාණ්ඩයම් තියෙනවානේ. නමුත් අපි ගායන සහ නර්තනය කියන දෙකම එකට කරනවා. අපි කවදාවත් ගායනය විතරක් කරන කණ්ඩායමක් හෝ නැටුම් විතරක් කරන කණ්ඩායමක් නෙවෙයි. අපි සින්දු කියන හැම වෙලාවේම නැටුම් ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ කන්සෙප්ට් එක. Kpop, Cpop සහ Jpop වගේ ලංකාවට අනන්‍ය වූ කණ්ඩායමක් හදාගැනීම තමයි අපි කළේ. ලංකාවේ මුල්ම ගායන සහ නර්තන ඇතුළත් ගර්ල් ගෘෘප් එක අපි.

අද වන විට සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම කොහොමද?

තාම අපි පටන් ගත්තාවිතරයි. 2025 මාර්තු 28 The Dream Song (හීන) එකත් එක්ක තමයි අපේ මුල්ම ගීතය. අපිට දවස් දෙක තුනක් ඇතුළත පුළුවන් වුණා ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇතුළත් වෙන්න. ලොකු කතාබහක් ඇති වුණා. හැමෝම බලන් හිටියා ලංකාවට මෙහෙම දෙයක් එන්නේ කියන එක. අපිට මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර මේ වගේ දේවල් ලංකාවට හරියන්නේ නැහැ කියන තැන ඉන්න සුළු පිරිසකතුත් ඉන්නවා. හැම ප්‍රතිචාරයක්ම අපි භාර ගන්නවා. මේ වෙද්දී අපි එම් එන්ටර්ටෙට්මන්ට් එකත් එක්ක එකතු වෙලා තමයි කරගෙන යන්නේ. මින් අපි කවර් සෝන්ග් කිහිපයක් කරා. අපේ අරමුණ වුණෙම අපි එක්ක මේ ගමන යන්න කවුරු හරි එකතු වෙයි කියලා. අපේ බලාපොරොත්තුව සාර්ථක වුණේ එම් එන්ටර්ටෙට්මන්ට් ආයතනයේ ෆෙඩ්රික් දිසානායක සර් අපිට කතා කරලා කිවුවා අපි එක්ක එකතු වෙන්න කැමතියි කියලා. එම් එන්ටර්ටෙට්මන්ට් එකත් එක්ක එකතු වෙලා යන ගමනක් දැන් තියෙනේ.

කණ්ඩායමටම අනන්‍ය වූ ගීත කීයක් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවද?

දැනට එක සිංදුවයි තියෙන්නේ. The Dream Song (හීන). මේ සින්දුවේ පද සහ මෙලඩි එක කළෙත් මමමයි. මේ ලිපිය කියවන අයට බොහෝම ආදරෙන් කියන්න කැමතියි The Dream Song (හීන) සින්දුව අහලා ඒකට ප්‍රතිචාර දක්වන්න කියලා. ඉදිරියට සින්දු කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ කණ්ඩායමට මේ ගමන යන්න උදව් කරන්නෙ කවුද?

එම් එන්ටර්ටෙට්මන්ට් ආයතනයේ ෆෙඩ්රික් දිසානායක සර් අපි එක්ක ඉන්නවා. ඒ නිසා එම් එන්ටර්ටෙට්මන්ට් ආයතනයේ සියලුම දෙනා අපිට මේ ගමන එන්න සහයෝගය දෙනවා. අපි රියලැටි වේදිකාවෙන් ආව අය නෙවෙයි. කවර් සෝන්ග් කරලා අපේ අරමුණ කවදා හරි ඉටුවෙයි කියලා හිතාගෙන ආව ළමයි ටිකක්. හැබැයි අපේ ඩ්‍රීම් එක වෙනුවෙන් අත හරින්නේ නැතුව වැඩ කරපු අය. ඒ වගේම අපේ පවුල්වල මාපියන්. ලංකාවේ වෙලා නැති දෙයක් කරන්න හදද්දී අම්මලා තාත්තලා බයයිනේ. හැබැයි අපිට හැම අතින්ම උදව් කළා. අපි මේ දේවල් කරන ගමන් අධ්‍යාපන කටයුතු කළා. මම මේ වෙද්දී විවෘත විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයිනින් කරන්නේ. තුන්වෙනි වසරේ ඉන්නේ. තව දෙන්නෙක් අපේ උපාධිධාරීන්. ඒ අය තොරතුරු තාක්ෂණය සහ සයිබර් සිකියුරුටි පැත්තෙන්. අනිත් කෙනෙත් ඩිප්ලෝපාධාරි කෙනෙක්. ඒ නිසා අධ්‍යාපන පැත්තත් කරගෙන අපි මේ හීනෙට ගියේ. තව ලොකු දුරක් යන්න තියෙනවා. වචනයෙන් හරි උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

ඔබලාගේ හෙට දවස කොහොම වෙයිද?

අපේ එකම බලාපොරොත්තුව තමයි ඉන්ටර්නැෂනල් ෆෑන්ස්ලා අපේ ලංකාවේ නිර්මාණ වැලඳ ගන්න එක. අපේ සිංහල භාෂාව අගය කරන්න ඕනේ. මොකද Kpop සහ Jpop නිසා අපි කොරියන් සහ ජපන් භාෂාව ඉගෙන ගන්න නැඹුරු වුණා. මම මේ වෙද්දීත් කොරියන් භාෂා පරිවර්තකවරියක් සහ කොරියන් භාෂා ගුරුවරියක්. මම කොරියන් භාෂාව ඉගෙන ගත්තේ Kpop නිසා. මම කල්පනා කළේ මම එහෙම කළා වගේ අපි SLPOP හදලා ලෝකෙම SLPOP දියුණු වුණොත් එහෙ අයත් සිංහල බස ඉගෙන ගන්න නැඹුරු වෙයි නේද කියලා. අපි ලංකාවේ රස ජාත්‍යන්තරයට අරන් යනවා. එම් එන්ටර්ටෙට්මන්ට් ආයතනය එක්ක ඒක කරන්න අමාරු නැහැ.

World News