Latest News

“සිරි දළදා වන්දනාව” සඳහා VIP හෝ VVIP පෝලිම් ගැන පොලීසියෙන් පැහැදිළි කිරීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසනවා.

අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බවයි පැවසුවේ.

මේ අතර, විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.

එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10.30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළා.

දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් ලෙස පිටකිරීම සිදුකරන බව ද පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බව ද සඳහන් කළා.

පෝලිම්වල සිටින බැතිමතුන්ව වීඩියෝ ගත කරන බැවින් කිසිවෙකුටත් “අස්සෙන් රිංගන්න ඉඩක් නෑ” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසුවා.

මේ අතර සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර තිබෙන බව මහනුවර පොලිස් මූලස්ථානය පවසනවා.

මහනුවර කොට්ංඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ගේ මෙහෙයවීම මත මෙම ස්ථාන වෙන්කර තිබෙනවා.

ඒ අනුව මහයියාව වේවැල්පිටිය නගර සභා ක්‍රීඩාංගණය( සැහැල්ලු වාහන සඳහා), මහනුවර සහශ්‍ර උයන රථගාල ( සැහැල්ලු වාහන සඳහා),ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය ( සැහැල්ලු වාහන සඳහා), මහයියාව පොදු සුසාන භූමිය ඉදිරිපිට (බස්රථ නවතා තැබීම සඳහා), ධර්මාශෝක මාවත මහවංගුව සිට ජපන් කඩේ හන්දිය දක්වා මාර්ගය( බස්රථ නවත්වාලීම සඳහා), කේ එම් සී නාගරික රථගාල( සැහැල්ලු වාහන සඳහා), මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාව අසල රජපිහිල්ල මාවත ( බස්රථ සඳහා), කරළිය ශාලාව රථ ගාල ( සැහැල්ලු වාහන සඳහා), බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය ( බස්රථ සඳහා), තැන්නකුඹුර හන්දියේ සිට හාරගම මාර්ගයේ වම්පස ( බස්රථ සඳහා) වෙන්කර තැබෙනු ඇති.

World News