වසරකට පුද්ගලයන් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් සත්ත්ව සපාකෑම්වලට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කරනවා.
වසරක දී පුද්ගලයන් 250,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් සුනඛයන්, බළලුන්, රිළවුන්, වඳුරන් ආදී සතුන්ගේ සපා කෑම්වලට ලක්වන බවත්, වසර 2028 වන විටදී මෙම සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි දළ වශයෙන් පුරෝකථනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ගිය 2023 වසරේ දත්තවලට අනුව සතුන්ගේ සපාකෑම්වලට ලක්වූ පුද්ගලයන් 116,000 ක් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති බවට තොරතුරු වාර්තා වන බවද ඔහු පැවසුවා.
සතුන්ගේ සපාකෑම්වලට ලක්ව පෞද්ගලික අංශයෙන් සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධීන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන බවද ඔහු සඳහන් කළා.
නරි, වලසුන්, කිඹුලා වැනි සතුන්ගෙන්ද පුද්ගලයන් පහර කෑමට ලක්වන බවද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කියා සිටියා.
මීට අමතරව සතුන්ගේ හැසිරීම් මාර්ග අනතුරුවලටද හේතුවන බව ඔහු පැවසුවා.
දඩාවතේ යන සුනඛයන් යම් ප්‍රමාණයක් සිටියද, නිවාසවල ඇති කරන සුනඛයන්ද මාර්ගවල වැඩිපුර ගැවසෙන බවත්, මෙම සතුන් පාරට පැනීමේ දී වාහනවල ගැටී අනතුරට ලක්වන බවයි ඔහු පැවැසුවේ.
මේ නිසා වැඩි වශයෙන් අනතුරට ලක්වන්නේ යතුරුපැදි සහ පාපැදි බවද ඔහු සඳහන් කළා.
සත්ත්ව ගහනය ඉහළ යෑම, සතුන් වැඩිවීමට තිබෙන අවස්ථා සීමා කිරීමට කටයුතු නොකිරීම, සතුන්ගෙන් ආරක්ෂාවීම සම්බන්ධ නොදැනුවත්කම යන කාරණා මත සත්ත්ව සපාකෑම් වාර්ෂිකව ඉහළ යෑමේ තත්ත්වයක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.