තායිලන්තයේ කෝ තාඕ දූපත අසල මුහුදේදී යාත්‍රාවක් ගිනිගෙන ගිලීයාමේ සිද්ධියක් හේතුවෙන් දකුණු ලන්ඩනයේ ලැම්බෙත් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වූ ඇලෙක්සැන්ඩ්රා ක්ලාක් නමැති බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
ඇය සංචාරකයින් පිරිසක් සමඟ කිමිදුම් චාරිකාවක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, අතුරුදන්ව ඇති සංචාරිකාව සොයා ගැනීම සඳහා තායි නාවික හමුදාව ඇතුළු සෙවුම් කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබෙනවා.
සුරත් තානි ප්‍රාන්ත මහජන සම්බන්ධතා කාර්යාලය සඳහන් කරන පරිදි, මෙම සිද්ධිය ඉරිදා (17) උදෑසන තායිලන්ත වේලාවෙන් පස්වරු 9.00ට පසුව යාත්‍රාවේ එන්ජිම් කාමරයේ හටගත් ගින්නක් හේතුවෙන් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
යාත්‍රාව ගමන් කරමින් සිටියදී ඉන්ධන පිරවීමේදී ටැංකියෙන් ඉතිරී ගිය ඉන්ධන, යාත්‍රාව නැවත ආරම්භ කිරීමේදී ගිනිගෙන තිබෙන බව ද සඳහන්.
සංචාරකයින් සහ කිමිදුම් උපදේශකයින් උදෑසන 7.30ට පමණ සවුත්වෙස්ට් පිනකල් නම් ප්‍රසිද්ධ කිමිදුම් ස්ථානයට රැගෙන ගොස් ඇති බවද වාර්තා වුණා.
සිද්ධිය වාර්තා වීමෙන් පසු, සුරත් තානි ප්‍රාන්ත සාගර කාර්යාලය පෞද්ගලික යාත්‍රා සහ ස්වේච්ඡා සේවකයින් සමඟ සම්බන්ධීකරණය කරමින් සංචාරකයින් සහ කාර්ය මණ්ඩලය වෙනත් යාත්‍රාවකට ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රාන්ත කාර්යාලයේ Facebook පණිවිඩයේ සඳහන් වන්නේ “අතුරුදන් වූ සංචාරක කාත්තාවක් සිටී, ඇලෙක්සැන්ඩ්රා ක්ලාක් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එබැවින් බලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා සෙවුම් කණ්ඩායමක් සංවිධානය කළේය” යනුවෙනි.
තායි නාවික හමුදාවේ කිමිදුම්කරුවන් දිනය පුරා යාත්‍රාවේ සුන්බුන් සහ ඒ අවට මුහුද සෝදිසි කර ඇතත්, අතුරුදන් වූ කාන්තාව පිළිබඳ කිසිඳු සලකුණක් සොයාගෙන නැහා.
පොලිසිය පවසන පරිදි, ගින්න හටගත් අවස්ථාවේදී ඇය යාත්‍රාවේ වැසිකිළියේ සිටි බවට සැක කෙරෙනවා.
කර්නල් සරයුත් බුරිවාචිරා තහවුරු කළේ ඇලෙක්සැන්ඩ්රා ක්ලාක් මහත්මිය සොයා ගැනීමේ මෙහෙයුම් අඟහරුවාදා (18) උදෑසන නැවත ආරම්භ කරන බවයි.
ගින්නට හේතුව පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන අතර, පොලිසිය සඳහන් කරන පරිදි, තායිලන්ත බොක්කේ ප්‍රසිද්ධ කිමිදුම් ස්ථානයකට යන ගමනේදී, ඉන්ධන ටැංකියට වාතය සම්පීඩනය කිරීම සඳහා භාවිතා කරන එන්ජිමක් නිසා ගින්න හටගෙන තිබෙනවා.
තායිලන්තය, විශේෂයෙන් කෝ තාඕ වැනි දූපත්, ඔවුන්ගේ ප්‍රසිද්ධ කිමිදුම් ස්ථාන සහ සුන්දර වෙරළවල් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන අතර මෙවැනි අනතුරුදායක සිද්ධීන් රටේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති කරනවා.
අනතුරුදායක සිද්ධීන් වැළැක්වීම සඳහා සහ විශේෂයෙන් ජල ක්‍රියාකාරකම්වල නිරත වන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, සාගර ආරක්ෂක නීති වඩාත් දැඩි කිරීම පිළිබඳව තායි රජය මත පීඩනය දැන් වැඩි වනු ඇති.




