දින අටක පර්යේෂණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය සිය ගගනගාමින් දෙදෙනා මාස 9ක කාලයකට පසු ලබන 16 වැනිදා පෘථිවියට පැමිණීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කරනවා.
58 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරිනියක වන සුනිතා විලියම්ස් සහ 61 හැවිරිදි නාවික හමුදා කපිතාන්වරයකු වන බච් විල්මෝර් රැගෙන පසුගිය වසරේ ජූනි මස 5 වැනිදා පෘථිවි කක්ෂයේ පිහිටි අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය නාසා ආයතනයේ ස්ටාර්ලයිනර් යානය නියමිත කාලයේදී යළි පැමිණීමට නොහැකිවූයේ හිලියම් ද්‍රාවණය කාන්දුවීම ඇතුළු කාර්මික දෝෂ රැසක් හටගැනීම හේතුවෙන් වන අතර, ගගනගාමින් දෙදෙනා එහි තනිකර එම යානය පසුගිය සැප්තැම්බර් මස 7 වැනිදා යළි පෘථිවියට පැමිණ තිබුණා.
ලබන 16 වැනිදා සිය ගගනගාමීන් දෙදෙනා පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ එලෝන් මස්ක්ට අයත් පෞද්ගලික අභ්‍යවකාශ සමාගමේ ස්පේස් එක්ස් ඩ්‍රැගන් අභ්‍යවාශ යානයෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
මාස ගණනාවක් පුරා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටින සුනිතාට සහ විල්මෝර්ට අවශ්‍ය ආහාර ඇතුළු සෙසු අත්‍යවශ්‍ය භාණ්ඩ නාසා ආයතනය විසින් අඛණ්ඩව සපයනු ලැබූ අතර, ඒ සඳහා වරින් වර අභ්‍යවකාශ භාණ්ඩ ප්‍රවාහන යානයක් භාවිත කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.