හබරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා අනතුරට ලක්ව මේ විට සොයාගැනීමට නොහැකිව සිටින සුමේධ නැමැති ඇතා රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතය හා මානන්කට්ටිය රක්ෂිතයට ආසන්නව ගමන් කර ඇති බව හදුනාගෙන තිබෙනවා.
ඒ, රුධිර පැල්ලම් සහ පා සටහන් ඔස්සේ සිදුකල සොයා බැලීම්වලදීයි.
අනතුරට ලක්වූ ඇතා සෙවීමේ මෙහෙයුම තුන්වන දිනටත් අද ක්‍රියාත්මක අතර එය පුළුල් කිරීමට ද වනජීවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර, තිරප්පනේ, ගනේවල්පොල සහ රිටිගල ප්‍රදේශවල වනජීවි කාර්යාලය නිලධාරින් 35කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව සදහන්.
මේ අතර, මෙම මෙහෙයුම සදහා ඩ්‍රෝන කැමරා භාවිතා කලද, සන්නිවේදන පහසුකම් නොමැතිවීම හේතුවෙන් සහ රක්ෂිතයේ වන අලි විශාල සංඛ්‍යාවක් රැදී සිටීම හේතුවෙන් අනතුරට ලක්වූ ඇතා සෙවීමේ මෙහෙයුම්වලට බාධා වී තිබෙනවා.
හබරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී මෙම ඇතා ලොරි රථයක පසුගියදා ගැටී තිබූ අතර, ගනේවල්පොල වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් සදහන් කලේ අනතුරෙන් ඇතාගේ එක් දළක් කැඩී සිරුරෙන් වෙන් වී ගොස් මාර්ගය මත වැටී තිබූ බවයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.