මෙක්සිකෝ සහ කැනේඩියානු ආනයන මත පැනවූ බදු සංශෝධනයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව උතුරු අමෙරිකානු වෙළෙඳ ගිවිසුමට අයත්වන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම තවත් මාසයකට අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
චීනය හැරුණු විට අමෙරිකාවේ ප්‍රධානතම වෙළෙඳ ගනුදෙනුකරුවන් වන්නේ කැනඩාව සහ මෙක්සිකෝවයි.
කෙසේ වුවද සිය දෙවන ධුර කාලය අරඹමින් කැනේඩියානු සහ මෙක්සිකෝ ආනයන මත බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තා.
එම බදු පැනවීම පසුගිය දා බලාත්මක වුවත් එය සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණා.
ඒ අනුව අප්‍රේල් 2 වනදා තෙක් කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ බොහොමයකට තීරු බදු බලපැවැත්වෙන්නේ නැහැ.
මෙම තීරුබදු සහනය පළමුව මෙක්සිකෝවට ලබාදෙන බවට ට්‍රම්ප් ප්‍රකාශ කළත් ඊට අදාළ විධායක නියෝගයට කැනඩාව ද අයත් බව වාර්තා වනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් කැනේඩියානු ඩොලර් බිලියන 125ක් වටිනා අමෙරිකානු අපනයන සඳහා පැනවීමට සැලසුම්කර තිබූ තීරුබදු පමා කරන බව කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එමෙන්ම ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ බදු සහන කාලය තුළ අමෙරිකාවට මත්ද්‍රව්‍ය ගලා ඒම පාලනයේදී කැනඩාව සහ මෙක්සිකෝව සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගනු ඇති බවයි.
කෙසේ වුවද අප්‍රේල් දෙවැනිදා සිට තීරුබදු පැනවීම නිසැකයෙන්ම බලාත්මක වන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත නැහැ.