සටන් විරාම ගිවිසුමෙහි පළමු අදියර නිමාවට පත්වීමෙන් පසු ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අත්හිටුවීමට ඊශ්‍රායල රජය පියවර ගැනීම අරාබි රටවල් සහ මානව හිමිකම් සංවිධාන හෙළා දැක තිබෙනවා.
පලස්තීනුවන්ගේ කුසගින්න අවියක් ලෙස භාවිත කිරීමෙන් ජාත්‍යන්තර නීතිය සහ සටන් විරාම ගිවිසුම ඉතා අශීලාචාර ලෙස උල්ලංඝනය කර තිබෙන බවයි එම රටවල් ඊශ්‍රායලයට චෝදනා එල්ල කර ඇත්තේ.
ගාසා සටන් විරාම ගිවිසුමෙහි පළමු අදියර අවසන් වීමෙන් පැය කිහිපයකට පසු ඊශ්‍රායලය එම පියවර ගෙන ඇති අතර, ඒ වනවිට රාමලාන් උපවාස සමය ද උදාවෙමින් තිබූ බව වාර්තා වනවා.
සෞදි අරාබිය සහ ජෝර්දානය මෙන්ම සටන් විරාම ගිවිසුමෙහි මැදිහත් පාර්ශ්ව වන කටාර් රාජ්‍ය සහ ඊජිප්තුව ද ඊශ්‍රායල රජය ගත් තීරණය හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබෙන බව ද සඳහන්.