දකුණු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ උමඟක් කඩාවැටීමෙන් ඉදිකිරිම් සේවකයන් 08 දෙනකු සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
උමඟ කඩාවැටී මේ වන විට පැය 72ක් ගතවී ඇතැයි ද, උමඟ තුළ සිරවූ සේවකයන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
තෙලංගනා ප්‍රාන්තයේ නගර්කුර්නූල් දිස්ත්‍රික්කයේ ඉදි කරමින් පවතින කිලෝමීටර් 43ක දුරින් යුතු එම උමඟ කඩාවැටී ඇත්තේ පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේදී බවත්, ඒ වන විට සේවකයන් 50කට ආසන්න පිරිසක් එතුළ ඉදි කිරීම් කටයුතුවල නිරතව සිටි බවත් වාර්තා වනවා.
උමඟ කඩාවැටීමෙන් පසු සේවකයන් 43 දෙනකු ජීවිත බේරා ගැනීමට සමත්වී ඇති අතර, සෙසු සේවකයන්ට මඩ සහිත උමඟ තුළින් පිටතට පැමිණීමට නොහැකි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
සිරවී සිටින සේවකයන් මුදාගැනීම සඳහා මේ වන විට ඉන්දීය ආපදා කළමනාකාර බළකාය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, දින තුනකට අධික කාලයක් ගත වී ඇති බැවින් එම මෙහෙයුම් කඩිනම් කර ඇතැයි වාර්තා වනවා.
කෙසේ වුවද උමඟ තුළ ජලය පිරී ඇති බැවින් මෙහෙයුම් කටයුතු අඩාළ වී ඇති අතර, අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව ද වාර්තා වනවා.