අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින විද්‍යුත් ට්‍රක් රථ සැපැයීමේ ඩොලර් මිලියන 400ක කොන්ත්‍රාත්තුව ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට පිරිනැමිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද වන විට ලොව ලොකුම ධනපතියා වන ඉලෝන් මස්ක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඩොලර් මිලියන 250ක් වැය කරමින් ඔහුගේ ප්‍රධානතම සහායකයා බවට පත්වූ අතර, ට්‍රම්ප් ජනපති පදවියේ දිවුරුම් දීමෙන් පසු රජයේ අධික වියදම් කපාහැරීමේ ක්‍රියාවලිය සඳහා ස්ථාපිත කළ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහු පත් කරනු ලැබුවා.
ඔහු හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ වසර 5ක පාලන සමයේදී ද අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධික රජයේ කොන්ත්‍රාත්තු ලැබූ අතර, මෙවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාහන සැපයීමේ කොන්ත්‍රාත්තුව ඔහුගේ ටෙස්ලා සමාගමට ලැබීමට නියමිත බව අනාවරණය වී ඇත්තේ මේ වසර සඳහා යෝජිත එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සැලසුම් පිළිබඳ වාර්තාවකින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
එක්ස් සමාජ මාධ්‍යජාලයේ ද හිමිකරු වන ඉලෝන් මස්ක් අමෙරිකානු රජයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමේද හිමිකරු වනවා.
ඔහුට අයත් ටෙස්ලා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ ඩොලර් 80,000 සිට අලෙවියට තබා ඇති අතර, පසුගිය වසරේදී පමණක් එවැනි වාහන 39,000ක් අලෙවි කර ඇතැයි වාර්තා වනවා.