මධ්‍යම අප්‍රිකාවේ සැම්බියාවේ සෆාරි සංචාරයක් අතරතුරදී හිපොපොටේමස් සතෙකුගේ ප්‍රහාරයකින් සිය බිරිඳ ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පුද්ගලයෙකු විසින් සංචාරක සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ සංචාරක කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අසමත්වීම සහ සංචාරක මඟපෙන්වන්නන් නිසි පරිදි තෝරා නොගැනීම සම්බන්ධයෙන් සමාගම වගකිව යුතු බව චෝදනා කරමින්.
නිව් ජර්සි හි පදිංචි ක්‍රෙයිග් මැන්ඩර්ස් (72) විසින් ස්ටැම්ෆර්ඩ් උසාවියේ පෙබරවාරි 5 වැනිදා මෙම නඩුව ගොනු කර තිබුණා.
ඒ African Portfolio නම් සංචාරක සමාගම විසින් සංවිධානය කරන ලද දින දහයක සැම්බියානු සෆාරි සංචාරයකදී සිය බිරිඳ ලිසා මැන්ඩර්ස් (70) ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලමින්.
නඩු පැවරීමේ ලේඛන අනුව, පසුගිය වසරේ ජූනි මාසයේදී යුවල සෆාරි සංචාරයේ නිරත වෙමින් සිටියදී, ගඟක අර්ධ වශයෙන් ගිලී සිටි හිපෝ සත්වයෙකු හදිසියේම ජලයෙන් ඉහළට පැන නැගී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ගැලවීමට ලිසා මැන්ඩර්ස් උත්සාහ කළද, සත්වයා ඇයව තම මුඛයෙන් ග්‍රහණය කරගෙන බිමෙන් ඔසවා ගෙන හිස සහ ශරීරය තම දත්වලින් තලා දමා තිබේ. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙම භයානක ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තුවක්කුවකින් සන්නද්ධව සිටි සංචාරක මගපෙන්වන්නා සිද්ධිය දැක දැක ඒ අසලින් පලා ගොස් ඇති බවයි. මෙම බියජනක දර්ශනයට ක්‍රෙයිග් මැන්ඩර්ස් ඍජුවම සාක්ෂි දරා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් African Portfolio සමාගමේ නීතිඥ රොඩ්නි ගෝල්ඩ් මහතා පවසා සිටියේ සමාගම විසින් යුවලට නවාතැන් පහසුකම් සැපයීම පමණක් සිදු කළ බවත්, සංචාරක මඟපෙන්වන්නන් සැපයූයේ සම්බියාවේ Chiawa Safaris ආයතනය විසින් බවයි.
සංචාරය සිදුවූයේ Chiawa Lodge විසින් සංවිධානය කරන ලද පාගමන් සෆාරි චාරිකාවකදී වන අතර ඉතා පුහුණු හා පළපුරුදු වෘත්තීය මඟපෙන්වන්නෙකු, රේන්ජර්වරයෙකු සහ සන්නද්ධ ජාතික උද්‍යාන නිලධාරියෙකු සමඟ සංචාරකයින් ගමන් කළ බව Chiawa වාර්තා කළා.
සිද්ධියෙන් පසු African Portfolio සමාගමේ නිර්මාතෘවරයා සම්බියාවට ගොස් පවුලේ සාමාජිකයින්ට සහ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට උපරිම සහය ලබාදීමට කටයුතු කර ඇති බව ද සමාගම පවසනවා.
මෙම සිද්ධියෙන් ක්‍රෙයිග් මැන්ඩර්ස් දැඩි මානසික කම්පනයකට ලක්ව ඇති අතර, බිරිඳගේ අවමංගල්‍ය වියදම් සහ අනෙකුත් වියදම් සඳහා ඩොලර් 15,000ක වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා.