වසර 2024 දී ලොව පුරා වාර්තාගත අයුරින් මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වී ඇති බවත්, ඉන් වැඩි ඝාතන සංඛ්‍යාවකට ඊශ්‍රායලය වගකිවයුතු බවත් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
සිය වාර්ෂික වාර්තාවට අදාළ කරුණු පිළිබඳ පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් එම කමිටුව සඳහන් කර ඇත්තේ පසුගිය වසර තුළ ලොව පුරා රටවල් 18ක මාධ්‍යවේදීන් 124 දෙනකු ඝාතනයට ලක්වූ බවයි.
මීට පෙර වසරක් තුළ වැඩිම මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත්තේ ඉරාක යුද්ධය පැවැති 2007 වසරේදි වන අතර, එම සංඛ්‍යාව 113ක් බව ද එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
එමෙන්ම පසුගිය වසරේදී අවම වශයෙන් මාධ්‍යවේදීන් 85 දෙනකු ගාසා යුද්ධය අතරතුර ඊශ්‍රායල හමුදාව අතින් ඝාතනයට ලක්වී ඇතැයි ද, ඉන් 82 දෙනකුම පලස්තීන ජාතික මාධ්‍යවේදීන් බව ද එම කමිටුව සඳහන් කර තිබෙනවා.
එම වාර්තාවට අනුව වැඩිම මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වූ රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වී ඇති පාකිස්තානයේ සහ සුඩානයේදී මාධ්‍යවේදීන් 6 දෙනකු බැගින් ඝාතනයට ලක්වී ඇති අතර, තවත් මාධ්‍යවේදීන් 14 දෙනකු මෙක්සිකෝව, හයිටි රාජ්‍යය, මියන්මාරය, මොසැම්බික්, ඉන්දියාව, ඉරාකය, සහ සිරියාවේදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දශක තුනකට අධික කාලයක් පුරා මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳ වාර්ෂික වාර්තා නිකුත් කරන මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පසුගිය වසර නම් කර ඇත්තේ වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනයට ලක් වූ වසර ලෙසටයි.
මාධ්‍ය වෘත්තිය වර්තමානය වන විට අතිශය අනතුරුදායක රැකියාවක් බව එම කමිටුවේ ප්‍රධානි ජෝඩි ගින්ස්බර්ග් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.