දිල්ලි ව්‍යවස්ථාදායක සභාව සඳහා වන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (05) පැවැත්වෙනවා.
එහි ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 8 වැනිදායි.
ඡන්ද මධ්‍යස්ථාන 13,033ක දී පෙරවරු 7 ට ඡන්ද විමසීම ආරම්භ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මෙම මැතිවරණයේ දී, වසර දහයක් තිස්සේ දිල්ලි ප්‍රදේශය පාලනය කළ ආම් ආද්මි පක්ෂයට (AAP) භාරතීය ජනතා පක්ෂයෙන් (BJP) සැලකිය යුතු අභියෝගයක් එල්ල වේ යැයි අපේක්ෂා කෙරෙනවා.
දිල්ලිය යනු ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක් වන අතර, එහි ව්‍යවස්ථාදායක සභාවක් පවතිනවා.
2015 දී පැවති මැතිවරණයෙන් එහි බලය ආම් ආද්මි පක්ෂයට හිමි වූ අතර, 2020 දී පැවති මැතිවරණයෙන් ද ඔවුන් එම බලය රඳවා ගැනීමට සමත් වුණා.
එහිදී ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 67 ක් 2015 දී ජයගත් ආම් ආද්මි පක්ෂය, 2020 දී ආසන 62 ක් දිනා ගැනීමට සමත් වුණා.
පසුගිය කාලයේ දී ආම් ආද්මි පක්ෂයට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් එම පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය යම් ප්‍රමාණයකට පළුදු වී තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂය විශ්වාස කරන්නේ එම තත්ත්වය තුළ තම පක්ෂයට වැඩි වාසි අත්කර ගත හැකි බවයි.
කෙසේ වෙතත්, තවමත් ආම් ආද්මි පක්ෂය ඉදිරියෙන් සිටින බව ඇතැම් දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබෙනවා.
ආම් ආද්මි පක්ෂයේ ප්‍රධාන ඡන්ද පොරොන්දු අතරට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ප්‍රවාහනය වැනි අංශ සඳහා වන සහන ඇතුළත් වනවා.
භාරතීය ජනතා පක්ෂය ජාතික ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ කරුණු ඉස්මතු කරමින් ඡන්ද ව්‍යාපාරයේ නිරත වනවා.
මෙම මැතිවරණය ඉන්දීය දේශපාලනයේ ඉදිරි ගමන් මගට තීරණාත්මක සාධකයක් වනු ඇති.
ආම් ආද්මි පක්ෂය බලයේ රැඳී සිටීමට සමත් වුවහොත්, එය එම පක්ෂයේ ජනප්‍රියත්වය පිළිබඳ සාක්ෂියක් වනු ඇති අතර භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් එය ඉන්දියාවේ දේශපාලන භූ දර්ශනයේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරනු ඇති.