ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක ජනතාවගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහස් සිදුවීමක් නිසා ප්‍රාන්ත වැසියෝ දැඩි ලෙස ව්‍යාකූලත්වයට පත්ව සිටිනවා.
ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, 2025 ජනවාරි සිට, වයස අවුරුදු හතරේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 200කට වැඩි පිරිසක් වේගවත් හා අනපේක්ෂිත ලෙස හිසකෙස් ගැලවී යාම් පිළිබඳ වාර්තා කර තිබෙනවා.
ඇතැමුන් සම්පූර්ණයෙන් ම හිස් කෙස්වලින් තොර තත්ත්වයට පත් වී ඇති අතර, මේ නිසා ඔවුන් තුළ කනස්සල්ල හා භීතියක් හට ගෙන තිබෙන අතර බලධාරීන් ඊට හේතු සොයමින් සිටිතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ෂෙගෝන් තාලූකාවේ පහුර්ජිරා ගම්මානයේ වෙසෙන ආනන්ද් (සැබෑ නම වෙනස් කර ඇත), මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ගෙන් කෙනෙක්.
2024 දෙසැම්බර් 31 දින සිට ඔහුගේ හිසකෙස් ගැලවී යාමට පටන් ගෙන තිබෙනවා. පසුව ඔහු කරණවෑමියෙකු වෙත ගොස් සම්පුර්ණයෙන් ම හිස මුඩු කර ගත් අතර ඊට පසු, ඔහුගේ හිසකෙස් නැවත වර්ධනය වූ නමුත් පසුව නැවතත් හිසකෙස් වැටීම ආරම්භ වි තිබෙනවා.
මෙම තත්ත්වය ආරම්භ වන්නේ, හිස් කබලේ ඇති වන කැසීමකින් වන අතර පසුව හිසකෙස් වේගයෙන් ගැලවී යනවා. ඇතැම් අයගේ හිසකෙස් නැවත වර්ධනය වූ නමුත් ඊට හේතුව කුමක් දැයි තවමත් පැහැදිලි වී නැහැ.
දැනට, ඉන්දියාවේ විකල්ප වෛද්‍ය අමාත්‍යාංශය හෙවත් ආයුෂ් අමාත්‍යාංශය රෝගීන්ගේ රෝග ලක්ෂණ මත පදනම්ව හෝමියෝපති ඖෂධ ලබා දෙනවා.
රජය, විශේෂඥයින් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) මෙම සංසිද්ධිය සඳහා විය හැකි හේතුව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.