ඇෆ්ගනිස්තානයේ දරුණු ආහාර හිඟයක් උද්ගත වී තිබෙන බව එරට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අමෙරිකාව විදේශාධාර අත්හිටුවීම ඇතුළු සෙසු ජාත්‍යන්තර සහනාධාර කප්පාදු කිරීම හේතුවෙන්.
ලෝක ආහාර වැඩසටහන සතුව මූල්‍ය ප්‍රතිපාදන ඇත්තේ අවතැන් වූ සහ ආහාර හිඟයෙන් පීඩා විඳින මිලියන ගණනාවක ඇෆ්ගනිස්තානුවන්ගෙන් හරි අඩකට පමණක් බවද එම වැඩසටහනේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
වසර 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරට දරුණු ආර්ථික අර්බුදයකට සහ ආහාර අර්බුදයකට මැදිවූ බවත්, ඇෆ්ගනිස්තානයට ලබා දුන් සියලු සංවර්ධන හා ආර්ථික සහනාධාර කප්පාදු කිරීමට හෝ අත්හිටුවීමට ජාත්‍යන්තරය පියවර ගැනීම හේතුවෙන් තත්ත්වය වඩාත් බරපතළ වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ජාත්‍යන්තර සම්බාධක සහ තහනම නොතකා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අඛණ්ඩව ඇෆ්ගනිස්තාන ජනතාවට අරමුදල් සපයමින් සිටියද එය ප්‍රමාණවත් නොවන බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තලේබාන් රජය විසින් පනවනු ලැබූ දැඩි නීති කොන්දේසි හේතුවෙන් ලොව පුරා විවිධ කාන්තා සංවිධානවලින් ලැබෙන සහනාධාර සහ මුල්‍යාධාර අහිමි වී ඇති අතර, එරට ආහාර හිඟයෙන් පීඩාවට පත් මිලියන ගණනාවක ජනතාවට මෙවර සීත සෘතුවේදී ආහාර අර්බුදය උත්සන්න වනු ඇතැයි අනාවැකි පළ වී තිබෙනවා.