චීනයේ සොයාගත් පුරාවිද්‍යාත්මක අවශේෂ නව මිනිස් විශේෂයක් විය හැකි බවට විද්‍යාඥයින් යෝජනා කර තිබෙනවා.
මෙම සොයාගැනීම මිනිස් විකාශන ඉතිහාසය වෙනස් කරමින් සිටිනවා.
දශක කිහිපයකට පෙර චීනයේ විවිධ ස්ථානවලින් හමුවූ හිස්කබල කොටස්, දත් සහ හනු ඇටකටු අතර ඇති අභිරහස් මිනිස් විශේෂයක් පිළිබඳව විද්‍යාඥයින් අතර නව සංවාදයක් ඇරඹී තිබෙනවා.
හවායි විශ්වවිද්‍යාලයේ ක්‍රිස්ටෝෆර් බේ මහාචාර්යවරයා සහ බීජිං වර්ටිබ්‍රේට් පුරාවිද්‍යා හා මානව විද්‍යා ආයතනයේ වූ ෂියුජී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මෙම අවශේෂ හෝමෝ ජුලුවෙන්සිස් (Homo juluensis) නමින් නව විශේෂයක් ලෙස හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා.
මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වල ප්‍රධාන විශේෂත්වය වන්නේ ඔවුන්ගේ මොළයේ විශාලත්වයයි.
වර්තමාන මිනිසුන්ගේ මොළයේ ධාරිතාව ඝන සෙන්ටිමීටර 1,350-1,450 අතර වන අතර, මෙම නව විශේෂයේ මොළයේ ධාරිතාව ඝන සෙන්ටිමීටර 1,700-1,800 දක්වා විශාල වනවා.
චීනයේ ෂුජියාවෝ උතුරු ප්‍රදේශයෙන් සහ මධ්‍යම චීනයේ ෂුචාං ප්‍රදේශයෙන් මෙම අවශේෂ සොයාගෙන තිබෙන අතර මුල් කාලීනව මෙම සොයාගැනීම් නිසි අවධානයට ලක් නොවූයේ එවකට පැවති විද්‍යාත්මක රාමුවට ඒවා නොගැලපුණු නිසායි.
කෙසේ වෙතත්, මෙම නව විශේෂය පිළිබඳ යෝජනාව සියලු විද්‍යාඥයින් පිළිගෙන නැහැ.
ස්මිත්සෝනියන් ආයතනයේ පුරාමානව විද්‍යාඥ රයන් මැක්රේ පවසන්නේ ඩෙනිසෝවන් සමඟ මෙම අවශේෂ සම්බන්ධ කිරීමට ජාන සාක්ෂි නොමැති බවයි.
තවත් නිර්දේශයක් වන්නේ මෙම අවශේෂ “ඩ්‍රැගන් මෑන්” ලෙස හැඳින්වෙන හෝමෝ ලොන්ගි සමඟ සම්බන්ධ විය හැකි බවයි.
චීනයේ හාබින්හි සොයාගත් ප්‍රසිද්ධ හිස්කබලක් සමඟ මෙම විශේෂය සම්බන්ධ වනවා.
මෙම සොයාගැනීම මිනිස් විකාශන ඉතිහාසය තවදුරටත් සංකීර්ණ කරන අතර පසුගිය දශක දෙක තුළ හෝමෝ ෆ්ලොරෙසියන්සිස් සහ හෝමෝ නාලෙඩි වැනි නව විශේෂ සොයාගැනීමත් සමඟ මිනිස් පවුල් ගස වඩාත් පුළුල් වී තිබෙනවා.
සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවෙන් සොයාගත් ඇඟිලි ඇට කැබැල්ලක් මගින් “ඩෙනිසෝවන්” නමින් හැඳින්වෙන පුරාතන මිනිස් ජනගහනයක් පිළිබඳ අදහස ඉදිරිපත් වූ අතර වර්තමාන සමහර මිනිසුන් මෙම විශේෂය සමඟ වංශානුගත සම්බන්ධතා පවත්වනවා.
මෙම සියලු සොයාගැනීම් මිනිස් විශේෂයේ සම්භවය සහ පරිණාමය පිළිබඳ අපගේ දැනුම පුළුල් කරමින්, මිනිස් ඉතිහාසයේ තවමත් නොවිසඳුණු අභිරහස් බොහොමයක් ඇති බව පෙන්වා දෙනවා.
