අල්-කාදිර් විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය සම්බන්ධ දූෂණ චෝදනා යටතේ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට වසර 7ක සිර දඬුවමක් සිකුරාදා (17) දින නියම කළා.
රාවල්පිණ්ඩි අදියාලා බන්ධනාගාරයේ ක්‍රියාත්මක වන වගවීමේ අධිකරණය මගින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියනයක (ඇමරිකානු ඩොලර් 3,500) දඩයක්ද, බුෂ්රා බිබිට එම මුදලෙන් අඩක් වන දඩයක්ද නියම කළා.
2023 අගෝස්තු මස සිට බන්ධනාගාරගත කර සිටින ඛාන් සම්බන්ධයෙන් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී තම තීන්දුව වෙන් කර තිබූ අතර, එය තුන්වරක් කල් දමා තිබුණා.
බුෂ්රා බිබි අධිකරණ පරිශ්‍රයෙන් අත්අඩංගුවට ගත් අතර මෙය හිටපු අගමැතිවරයා වැරදිකරු කරනු ලැබූ සිව්වන ප්‍රධාන නඩුවයි.
පසුගිය ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය තෑගි විකිණීම, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සහ නීති විරෝධී විවාහය සම්බන්ධ පෙර වැරදිකරු කිරීම් තුනම අවලංගු හෝ අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඛාන් තවමත් සිරගත කර සිටින අතර, ඔහුට එරෙහිව නඩු දසයක් පමණ විභාග වෙමින් පවතිනවා.
අල්-කාදිර් භාර නඩුව සම්බන්ධයෙන් ඛාන් මුලින්ම 2023 මැයි මාසයේදී අත්අඩංගුවට ගත් අතර, දින දෙකකට අඩු කාලයක් රඳවා සිටියා.
කෙසේ වෙතත්, එම අත්අඩංගුවට ගැනීම රට පුරා විරෝධතා ඇති කළ අතර, එහිදී ඛාන්ගේ සහායකයින් නගර කිහිපයකම කැරලි ඇති කළා.
ඛාන්ගේ නීතිඥ ෆයිසල් ෆරීඩ් චෞද්රි මෙම තීන්දුව ඛාන් සහ ඔහුගේ බිරිඳට එරෙහිව සිදු කරන “බොරු හිංසනයේ” දිගුවක් ලෙස හෙළා දැක තිබෙනවා.
“මෙය සමහරවිට ජාතික වගවීමේ කාර්යාංශයට (NAB) සතයක්වත් පාඩුවක් සිදුවූ බවට ඔප්පු කළ නොහැකි වූ එකම නඩුව විය හැකියි,” යැයි නීතිඥවරයා පැවසුවා.
ඛාන් 2022 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාස භංග ඡන්දයකින් බලයෙන් පහ කරනු ලැබූ අතර, ඔහු එය රටේ හමුදාව සහ එක්සත් ජනපදය සම්බන්ධ කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වයි. දෙපාර්ශවයම මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාකිස්තානයේ හමුදාව 1947දී රට බිහිවීමෙන් පසු වසර තිහක් පමණ රට සෘජුව පාලනය කරමින් සැලකිය යුතු දේශපාලන බලපෑමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
පාකිස්තානයේ ඉතිහාසයේ කිසිදු අගමැතිවරයෙකු තම ධුර කාලය සම්පූර්ණ කර නොමැති අතර, හමුදා ඒකාධිපතිවරුන් සිව්දෙනාගෙන් තිදෙනෙකු දශකයකට ආසන්න කාලයක් බැගින් පාලනය කර තිබෙනවා.