Latest News

හඳුනා නොගත් රෝගයකින් කොංගෝවේ 100ක් ජිවිතක්ෂයට – රෝගීන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොංගෝ ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් පැතිර ගොස් 100කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සමඟ එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සක්‍රීයව මෙම තත්ත්වය නිරීක්ෂණය කරන බව වාර්තා වනවා.

X ලෙස දැනට නම්කර ඇති මෙම රෝගය, උණ, හිසරදය, කැස්ස සහ රක්තහීනතාව වැනි උණ රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්වනවා.

වැඩි වශයෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් ඇතුළුව රෝගීන් 400කට ආසන්න සංඛ්‍යාවක් දැනට වාර්තා වී තිබෙනවා.

අවදානම් තක්සේරු කිරීමට සහ රෝගයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර තීරණය කිරීමට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් සමඟ ළඟදීම රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කල් වැඩි වූවත්, තත්ත්වය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිදුර මාර්ගෝපදේශ බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වනවා.

මේ අතර, කොංගෝ හි ක්වාන්ගෝ පළාතේ වඩාත් පීඩාවට පත් ප්‍රදේශය වන පැන්සි සෞඛ්‍ය කලාපයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාර කණ්ඩායම් යොදවා තිබෙනවා.

විදෙස් මාධ්‍යවලට අනුව මරණ 79-143ත් අතර වාර්තා වී තිබුණ ද X රෝගයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අවිනිශ්චිතව පවතිනවා.

මියගිය පිරිස ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 15ත් 18ත් අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව, කොංගෝව දැනට පවතින Mpox වසංගතය සමඟ ද පොරබදමින් සිටින අතර දැනටමත් සැක සහිත රෝගීන් 47,000කට වැඩි ප්‍රමාණයක් සහ 1,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

World News