Latest News

චරිත්ට, කුසල් ඕන කියයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට නියමිතව සිටි ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්, අලුතින් නායකත්වයට පත්වූ චරිත් අසලංකගේ ඉල්ලීම මත තවදුරටත් සංචිතයේ රඳවාගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඕනෑම තරගාවලියක් සඳහා සංචිතයක් තෝරාගැනීමේදී කණ්ඩායමේ නායකයාටද තමාට අවශ්‍ය ක්‍රීඩකයකු හෝ කිහිප දෙනෙකු සංචිතයට ඇතුළත් කර දෙන ලෙස තේරීමේ කමිටුවෙන් ඉල්ලා සිටීමට අවස්ථාවක් හිමිවනවා.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අසලංක තේරීම් කමිටුවෙන් මෙම ඉල්ලීම කර තිබෙන බවත් තේරීම් කමිටු නිලධාරීන් ඔහුගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 46 කදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර ඇති කුසල් එහිදී අර්ධ ශතක 14 ක් සමග ලකුණු 1395 ක් රැස්කරගෙන ඇත්තේ 31.70 ක සාමාන්‍යයක් රඳවාගනිමින්.

එහෙත් මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා විස්සයි 20 ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී අර්ධ ශතක 2 ක් සමග ලබාගෙන ඇත්තේ ලකුණු 359 ක් පමණයි.

එහිදී ඔහුගේ සාමාන්‍ය සටහන් වන්නේ 29.91 ක් ලෙසයි.

කෙසේ වුවත් චරිත් අසලංක නායකත්වය දරන යාපනය කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන කුසල්, එහිදී ආරම්භක පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වුණා.

මූලික වටයේ තරග 8 කට ක්‍රීඩා කළ ඔහු පන්දු 87 කට මුහුණ දෙමින් ලබාගත්තේ ලකුණු 106 ක් පමණයි.

එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 13.25 ක් ලෙසත්, ප්‍රහාරාත්මක වේගය 121.83 ක් ලෙසත් සටහන් වුණා.

World News