මෙම මස අගදී දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට ස්ථානයක් හිමිව නොමැති බව වාර්තා වනවා.
2016 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත් මෙන්ඩිස්, පළමු වරට ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළේ 2018 වසරේදීයී.
එතැන් පටන් පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය දක්වා තරග 46 කදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඔහු එහිදී අර්ධ ශතක 14 ක් සමග ලකුණු 1395 ක් රැස්කළේ 31.70 ක සාමාන්‍යයක් රඳවාගනිමින්.
කෙසේ වුවත් මෙම වසර තුළ පැවැති විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී මෙන්ම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළද ආරම්භක පිතිකරුවකු ලෙස කැපී පෙනෙන යමක් කර පෙන්වීමට මෙන්ඩිස් අපොහොසත් වුණා.
එබැවින් ඔහුට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට නිමාවට පත්වූ ලෝක කුසලාන තරගාවලි දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළ ඔහු එහිදී අර්ධ ශතක 2 ක් සමග ලබාගෙන ඇත්තේ ලකුණු 359 ක් පමණයි.
එහිදී ඔහුගේ සාමාන්‍ය සටහන් වන්නේ 29.91 ක්.
LPL තරගාවලියේදී යාපනය කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ඔහු තරග 8 කදී ලබාගත්තේ ලකුණු 106 ක් පමණයි.
මෙන්ඩිස්ට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්ට, ධනංජය ද සිල්වාට සහ මැද පෙළ පිතිකරුකු වන සදීර සමරවික්‍රමට සහ ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වන අතර ඔවුන් වෙනුවට මෙවර LPL තරගාවලියේදී දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යළි කණ්ඩායමට කැඳවීමට නියමිත බවද වාර්තා වනවා.
මේ අතර වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ විස්සයි-20 නායකයා තේරීමේදී හිටපු නායකයන් වන දිනේෂ් චන්දිමාල්ගේ සහ දසුන් ශානකගේ නම්ද යෝජනා වී ඇති නමුත් 2026 වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් නායකත්වය අසලංකට ලබාදීමට එහිදී තේරීම් කමිටු නිලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.