හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිට්රී රඹුක්වැල්ල විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාලව පොලිස් විමර්ශන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අවසන් නොකිරීම පිළිබඳව චමල් සංජීව මහතා නීතිපතිවරයාගෙන් විමර්ශනයක් ඉල්ලා තිබේ.
වෛද්‍යවරයා සිය නීතීඥයින් මගින් ඉදිරිපත් කළ ලිපියක සඳහන් වන්නේ, 2024 ජනවාරි 01 දින තමන් කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට සිටිනු දැක බිය ගැන්වීමට උත්සාහ කළ බව පවසමින් ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණද, අද දක්වා විමර්ශන අවසන් කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ, එදින තමන් ගියේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව එල්ල වූ බාල ඖෂධ චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා දිනයක් ඉල්ලා ලිපියක් භාරදීමට බවයි.
මෙම නඩුව පසුගිය 16 වන දින අසංග බෝදරගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අතර, එහිදී පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මල්වඩමක් රැගෙන පැමිණි පුද්ගලයන් හඳුනාගෙන නොමැති බවයි.
ඒ අනුව නඩුව ජුනි 22 දිනට යළි කැඳවීමට නියම කර ඇති අතර, එදිනට සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් තමන්ට දැඩි අපහසුතා සහ ආරක්ෂා ගැටලු පවා ඇතිවිය හැකි බව සඳහන් කරමින්, අදාල ලිපිගොනු පරීක්ෂා කර පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසද නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.