බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙන ලදී.
මෙම චෝදනා පත්‍ර භාර දීම මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල හමුවේ සිදු වූ අතර, එමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත. තවද, විත්තිකරුගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ කාලය තුළ, කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට වාසියක් වන පරිදි ලබා දීමෙන් රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව, අල්ලස් හෝ දුෂණ විරෝධී පනත යටතේ ‘දුෂණය’ යන වරදට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි 6 වනදා පැවැත්වීමට නියමිතයි.