Latest News

2035 වන විට ක්ෂය රෝගය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2035 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කරමින් ලෝක ක්ෂය රෝග දිනය ඊයේ (24) දිවයින පුරා සමරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව ලෙස “ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක” යන්න තෝරාගෙන තිබුණි.
මෙම ජාතික වැඩසටහනට කැපවීම සංකේතාත්මකව ප්‍රදර්ශනය කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් වෙත විශේෂ සමරු පළඳනාවක් පැළඳවීම ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් මෙම පළඳනාවන් පැළඳවීම සිදුකර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 14,000ක් පමණ හඳුනාගත යුතු වුවද, දැනට වාර්තා වන්නේ 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් පමණ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව රෝගීන් 5,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා නොගෙන සමාජය තුළ සිටින බවට අනාවරණය වී ඇත.
2025 වසරේ වාර්තා වූ රෝගීන් 8,125 දෙනා අතරින් ළමා ක්ෂය රෝගීන් ප්‍රතිශතය සියයට 3ක් පමණක් වීම හේතුවෙන් ළමුන් අතර රෝගීන් හඳුනාගැනීමේ අඩුවක් පවතින බවද මෙහිදී පෙන්වා දී ඇත.
මාර්තු 16 සිට 20 දක්වා කාලය ක්ෂය රෝග දැනුවත් කිරීමේ සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාලය තුළ රසායනාගාර පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබේ.
2015 වසරේ දත්තවලට සාපේක්ෂව 2035 වන විට ක්ෂය රෝගීන් සංඛ්‍යාව සියයට 90කින් සහ මරණ සංඛ්‍යාව සියයට 95කින් අඩු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කය බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
බැක්ටීරියාවක් මඟින් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුකරන රෝග අතරින් එකක් වන ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ සියලු මට්ටම්වල වගවීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

World News

Send your contact Details Today